brand logo

ඔයාගෙ ‘‘ලකී ස්ටාර්’’ ඉන්නේ ඔයා ළඟමයි

13 December 2018

අයිඩියල් අභියෝගයෙන් රටම හඳුනාගත් විනෝජ් දහනායක

ජීවිතය ගොඩදාගැනීමට සිතා විකල්ප සමග ලේසි ක්‍රම සොයා යන තාරුණ්‍ය අනිවාර්යයෙන්ම කියවිය යුතු සංවාදයකි මේ. රුවන්වැල්ලේ, ඉඹුලාන ගමේ ශ්‍රී සේන මධ්‍ය මහා විද්‍යාලයෙන් 2006 උසස් පෙළ විභාගය ලියලා, විනෝජ් දහනායක කොළඹට එනවා. ගෙදර බර අදින්න අප්පච්චිට පුංචි හරි උදව්වක් වෙන්න හිතාගෙන එහෙම ආපු ගමනේ, අද විනෝජ් දහනායක ඉන්නේ අයිඩියල් මෝටර්ස් ආයතනයේ ප්‍රවර්ධන කළමනාකරු වශයෙන්, විධායක ශ්‍රේණියේ රැකියාවක. පළවැනි රැකියාවේ වැටුප මතකයිද? බේසික් එක ලැබුණේ රුපියල් 4300යි. 2006 අවුරුද්දේ. පිටිසර ගමක ඉඳන් කොළඹ රැකියාවකට එනවා. අභියෝග මහ ගොඩක් නේද? කොළඹ ඇවිල්ලා, බෝඩ් වෙලා, බෝඩිං ගාස්තු ගෙවාගෙන, ගෙදර දේවලටත් උදව් කරගෙන ජීවත් වුණා. ඒ අභියෝගය මං හරි අාසාවෙන් භාර ගත්තා. පසුබහින්න හිතුණෙම නැද්ද? දුක්, කරදර, ආවා. ඒත් හැමදේම දරාගත්තා. පලායන එක නෙමෙයිනේ ප්‍රශ්නවලට විසඳුම. පළවැනියටම රස්සාව කරන්න ආව ආයතනයේ අවුරුදු 8ක් මම හිටියා. මොකක්ද මේ ‘අයිඩියල් දහනායක’ කියලා කියන කතාව? අවුරුදු 8ක් මම උපරිම කැපවීමෙන් වැඩ කළා. මගේ හැකියාව දැකලා අයිඩියල් මෝටර්ස් කියන ආයතනයේ උසස් තනතුරකට මට ආරාධනාවක් ලැබුණා අයිඩියල් මෝටර්ස් ආයතනයේ ප්‍රවර්ධන කළමනාකරු හැටියට. අයිඩියල් ආයතනයේ ‘අයිඩියල් අභියෝගය’ කියලා දැවැන්ත වැඩසටහනක් සංවිධානය කිරීමට මම දායක වුණා. ඒ වැඩසටහනේ නිවේදන කටයුතු කළේ මම. ඒකට මං පුංචි කාලේ ඉඳන්ම කැමැතියි. ඒ වැඩසටහන නිසා ම​ගේ නිවේදන හැකියාව ආයතනයේ වගේම, පරිබාහිර අයත් දැන හඳුනාගත්තා. එදා ඉඳන් තමයි විනෝජ් දහනායක, අයිඩියල් දහනායක වුණේ. ඒ කියන්නේ රස්සාව අතෑරලා දිගටම නිවේදනම කරගෙන ඉන්නද කල්පනාව? නෑ. නෑ. වෘත්තියක් වශයෙන් පළවෙනි තැන රැකියාවට. හොඳ නිවේදකයෙක් කියලා මාව දැන ගත්තෙත්, ඒ රැකියාවෙන්ම ලැබුණු අවස්ථාවක් නිසානෙ. නිවේදන කටයුතු කියන්නේ මං හරිම ආසාවෙන් කරන දෙයක්. වෘත්තියකට වඩා ඒ වැඩේට මං හරිම ආසයි. නිවේදන කටයුතු කරන්න ආසම කොයි වගේ අවස්ථාවලටද? ප්‍රසංග වේදිකාවල නිවේදනය කරන්න හුඟක් කැමැතියි. ස්​​ටේජ් එකක් උඩට නැගලා මහ ලොකු සෙනඟක් ඈතට පේනකොට ඒ අයට කතා කරනකොට අමුතුම හැඟීමක් දැනෙනවා. තාම තරුණ වයසනෙ. ලොකු ගමනක් ඇවිත්. මොකක්ද රහස. දැන් 32යි. රස්සාවට එනකොට 19යි. මගේ ලකී ස්ටාර් වුණේ මට ලැබුණු අභියෝග. එහෙම නැතුව මේ ගමන එක පාරට ආවේ නැ. අද මං යටතේ සේවකයෝ වැඩ කරනවා. මට වාහනයක් තියෙනවා. මගේ පවුලට අඩුපාඩුවක් නෑ. මං දුප්පත් පවුලකින් මේ තත්ත්වයට ආවේ. ඒක කියන්න මට ලජ්ජාවක් නෑ. හිත ඇත්නම් පත කුඩාද? ඒක තමයි මේ ගමනේ රහස. අනුපමා ගල්කඩවල  
 

More News..