brand logo

T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා පිල ගැන මුරලි කතාකරයි

20 October 2021

මේ විස්සයි 20 ලෝක කුසලානයත් 96ක් වීමට බැරි නැහැ

අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය හෝ අවසන් මහා තරගය දක්වා පැමිණෙනු ඇතැයි කණ්ඩායමේ ක්‍රීඩකයින්ට පවා විශ්වාසයක් නොතිබූ බවත්, මෙවර 20/20 ලෝක කුසලානයේදීද එවැනි දෙයක් සිදු නොවේයැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටු සාමාජික මුත්තයියා මුරලිදරන් පවසයි. මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ‘ඒ’ කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ නැමීබියා තරගය අතරතුර පෙරේදා (18 වැනිදා) මාධ්‍යවේදීන් සමග පැවැති සාකච්ඡාවකදී මුරලිදරන් මෙම අදහස් පළ කරනු ලැබීය.

‘අපි 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයගනු ඇතැයි කවුරුවත් විශ්වාස කළේ නැහැ. කණ්ඩායමේ ක්‍රීඩකයින්ට පවා විශ්වාසයක් තිබුණේ නැහැ අවසන් තරගයට හෝ අවසන් පූර්ව තරගයට එයි කියලා. නමුත් අර්ජුන ප්‍රමුඛ කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන්නා. ඒ වගේම විස්සයි විස්ස ක්‍රිකට් තරග රටාවේදී ඕනෑම දෙයක් සිදුවිය හැකි නිසා මෙවරද එවැනි දෙයක් සිදුවිය නොහැකියි කියලා කාටවත් කියන්න බැහැ’ යනුවෙන් මුරලි වැඩිදුරටත් අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ දෙවැනි අදියර සඳහා සුදුසුකම් ලබනු ඇති බව ලොව වැඩිම ටෙස්ට් ක්‍රිකට් කඩුලු ලාභියා වන මුරලිදරන් මෙහිදී සිය විශ්වාසය පළ කර සිටියේය. පසුගිය වසර හය හතක කාලය තුළම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නිසි උපදේශනයක් සහ නිවැරදි මගපෙන්වීමක් නොලැබුණු බවට මුරලි චෝදනාත්මකව පවසනු ලැබීය. නමුත් මහේල ජයවර්ධන පුහුණු උපදේශකයෙකු ලෙස පැමිණ ඔහුගේ දැනුම කණ්ඩායම සමග බෙදා ගැනීම මගින් ක්‍රීඩකයින්ට සිය දක්ෂතා කරා පැමිණීමට මහත් පිටිවහලක් වී ඇති බව මුරලිගේ අදහස වී තිබේ. ක්‍රිකට් තාක්ෂණික කමිටුව සහ ක්‍රිකට් ආයතනය ගනු ලබන තීන්දු තීරණ සැමවිටම නිවැරදි විය නොහැකි බව පවසන මුරලි වරදක් වූ විට එම වරද නැවත සිදු නොවන්නට වගබලා ගැනීම මෙම සෑම පාර්ශ්වයකටම වගකීම බව අවධාරණය කළේය. ඒ අනුව අවශ්‍ය වෙන්නේ අඩුවෙන් වැරදි කරන කණ්ඩායමක් ලෙසින් ඉදිරියට යාම බවද එහිදී මුරලි කීය. ශ්‍රී ලංකා කණ්ඩායම ජෛව ආරක්ෂණ බුබුළක් යටතේ කටයුතු කරනු ලබන බැවින් ක්‍රීඩකයින් සමග කතා බහා කිරීමට මුරලිදරන්ට අවස්ථාවක් ලැබී නොමැති අතර ඔහු අයි.පී.එල්. තරගාවලියේ කටයුතු කරන සමයේදී වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර සමගින් විනාඩි කිහිපයක් කතා කළ බව පැවැසීය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුරගේ අභාවය ශ්‍රී ලංකා ක්‍රිකට් වලට විශාල පාඩුවක් බවත්, ක්‍රීඩකයින් වශයෙන් ඔහුව සිහිපත් කිරීමට යමක් කළ යුතු බවත් මුරලිදරන් මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේය. ගයාශාන් විතානආරච්චි අබුඩාබිහි සිට
 

More News..