brand logo

STF නව අණදෙන නිලධාරි ලයනල් ගුණතිලක රාජකාරි අරඹයි

10 February 2020

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණ දෙන නිලධාරී ලෙස පත්වූ විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී සහ ප්‍රජා පොලිස් දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එම්.ඩබ්ලිව්.ජී.එල්. ගුණතිලක මහතා අද (10) එම ධූරයේ වැඩ භාරගත්තේය. පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ එම තනතුර සදහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියමය පරිදි එම්.ඩබ්ලිව්.ජී.එල්. ගුණතිලක මහතා පත්වූයේය. ගුණතිලක මහතා 1985 වසරේ ජනවාරි 20 වන දින උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට බැදීමෙන් අනතුරුව 1986 වසරේ මාර්තු මස 20 වන දින විශේෂ කාර්ය බලකායට එක්විය. විශේෂ කාර්ය බලකායේ අතුරු හමුදා පුහුණුව හැදැරීමෙන් අනතුරුව ක්‍රියාන්විත ප්‍රදේශවල කැපවීමෙන් රාජකාරී කළ එතුමා ඉතා කෙටි කලකින්ම විශේෂ කාර්ය බලකා කදවුරු අණදෙන නිලධාරිවරයෙකු ලෙස කදවුරු ගණනාවකටම අණදෙන ලදී. වසර නමයකට වැඩි කාලයක් විශේෂ කාර්ය බලකායේ සේවය කර ඒ මහතා 1995 වසරේ ජනවාරි 21 වැනි දින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස උසස්වීමෙන් පසු විශේෂ කාර්ය බලකායට සමුදී පොලිස් සේවය සදහා එක් කැබැතිගොල්ලෑව, මහව හා අනුරාධපුරය යන පොලිස් ස්ථානවල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස රාජකාරි කරන ලදී. 2003 වසරේ ජනවාරි මස 01 දින සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස ද 2011 වසරේ ජනවාරි 11 වන දින පොලිස් අධිකාරිවරයෙකු ලෙසද, 2014 වසරේ පෙබරවාරි 01 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙසද උසස්වීම් ලද ලයනල් ගුණතිලක මහතා කෑගල්ල, කැබිතිගොල්ලෑව හා හැටන් යන ප්‍රදේශවල ද කොට්ඨාස භාර නිලධාරියෙකු ලෙස මොණරාගල, කෑගල්ල හා කොළඹ උතුර ප්‍රදේශවල රාජකාරී කරන ලදී. 2019 වසරේ අප්‍රේල් 06 වන දින සිට විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී ලෙස නැවත විශේෂ කාර්ය බලකායට එක්වූ ඒ මහතා 2019 වසරේ නොවැම්බර් 30 වන දින නි‌යෝජ්‍ය පොලිස්පති ධූරයට පත්විය. ශ්‍රී ලංකා පොලිස් වෘත්තීයේ වසර 35ක සේවාවක් සපුරන නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අද (10) විශේෂ කාර්ය බලකායේ 12වන අණදෙන නිලධාරී ලෙස රාජකාරී භාරගන්නා ලදී.
 

More News..