brand logo

SPC රූමි සහ සුදු වෑන් රියදුරන් දෙදෙනාට ඇප

06 January 2020

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ බව සඳහන් කරමින් රහස්පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනා සහ එම මාධ්‍ය සාකච්ඡාව සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූ බව කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි නමැත්තා ඇප මත මුදාහරින මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අද (06) නියෝග කරන ලදී. ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද නියෝග කළාය. සැකකරුවන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේ නම් ඒවා අධිකරණය වෙත භාරදිය යුතු බවටද මහේස්ත්‍රාත් වරිය විසින් නියෝග කරන ලදී. මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි තුන්වන සැකකරු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වනවිට නාරාහේන්පිට, ලංකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඒ බව තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන බවත් සඳහන් කළා. මෙහිදී රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ බව කියමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනාට මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. එම ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසුව අදාළ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස ද නීතිඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසිය අමතමින් මෙම සැකකරුවන්ට එරෙහිව එල්ල කරන චෝදනා මොනවාද? යන්න පැහැදිලිව දක්වන ලෙස ඉල්ලා සිටියාය. ඊට රහස් පොලිසිය වෙනුවෙන් පිළිතුරු ලබාදුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මුල් අවස්ථාවේදී මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ මිනීමැරුම් චෝදනා පොලිසිය විසින් එල්ල කර තිබුනත් මෙම අවස්ථාවේ එම චෝදනාව ඉදිරිපත් නොකරන බව සඳහන් කර සිටියේය. එහෙත් මෙම සැකකරුවන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 169 ,190 සහ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 80(ඇ) වගන්තිය යටතේ වූ චෝදනාව ඉදිරිපත් කරන බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙහිදී දැනට රිමාන්ඩ් භාරයේ පසුවන හතර වන සැකකරු ලෙස නම් කර සිටින මොහොමඩ් රූමි නැමති අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදා හරින ලෙස ද ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. එම ඇප ඉල්ලීමට රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා දැඩි විරෝධය පළ කර සිටියේය. " ස්වාමීනි මෙම විමර්ශන වලට දැඩි බලපෑම් එල්ල වෙලා තිබෙනවා. නිකුත් නඩු දිනයේ රිමාන්ඩ් භාරයේ පසුවන අදාළ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ පුද්ගලයින් දෙදෙනාගේ බිරින්දෑවරුන්ට උපැස් යුවලක් පැළඳගත් නීතිඥවරයෙකු පැමිණ මහෙස්ත්‍රාත්වරියට ප්‍රකාශයක් ලබා නොදෙන ලෙස බලපෑම් කර තිබෙනවා. ඇමතිතුමා විසින් නීතිඥවරු එවන බවටත් බලපෑම් කර තිබෙනවා. මේවා විමර්ශනවලට සිදුකල සෘජු බලපෑම් වශයෙන් සැලකිය යුතුයි. මෙම නඩුවේ හතරවන සැකකරු මොහොමඩ් රූමි ජනාධිපතිවරණය සමයේ පැවත්වූ මාධ්‍ය සංදර්ශනයට මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇති බව තහවුරු වෙනවා. ඔහු මෙම මාධ්‍ය සාකච්ඡාවට තුන්වන සැකකාර රාජිත සේනාරත්න වගේම සමාන දායකත්වයක් ලබා දී තිබෙනවා. රූමි මොහොමඩ් නමැත්තා මාධ්‍ය සාකච්ඡාවට පෙර මෙම සැකකරුවන් දෙදෙනාට රුපියල් 50,000 බැගින් ලබා දුන්නා. ඉන්පසුව රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදී තිබෙනවා. මෙම සැකකරු වගකිවයුතු රාජ්‍ය ආයතනයක උසස් නිලයක් හොබවන පුද්ගලයෙක්. ඔහුට මෙම මුදල් ලැබුණේ කොහොමද කියා අපි පරික්ෂා කලයුතුයි. ඔහුගේ බැංකු ගිණුම් පරික්ෂා කළ යුතුයි.මෙම නඩුවේ තුන්වන සැකකරු වන රාජිත සේනාරත්න නමැත්තාගෙන් මේ දක්වා පොලිසිය ප්‍රකාශයක්වත් සටහන් කරගෙන නෑ" යනුවෙන් සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහිදී මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසිය අමතමින් වරෙන්තුවක් නොමැති අවස්ථාවක මෙම නඩුවේ හතර වන සැකකරු වූ මොහොමඩ් රූමි නමැත්තා අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි විමසා සිටියාය. මහේස්ත්‍රාත්වරිය - මෙම නඩුවේ 4 වන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය ඉකුත්දා වරෙන්තුවක් ඉල්ලා සිටියා. තාක්ෂණික හේතුවක් මත එම වරෙන්තුව නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කළා. ඔහුට එල්ල වෙලා තිබෙන්නේ සංඥය නොවන වැරදි. සංඥය නොවන වරදක් ඉදිරිපත් වන අවස්ථාවක මෙම සැකකරු අත්අඩංගුවට ගත්තේ කොහොමද? රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා- ස්වාමීනි, ඒ සැකකරු අත්අඩංගුවේ ගත්තේ මම නෙමෙයි. ඒක පොලිසියෙන් අසන්න. ඒ අනුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම පැනය නැවතත් රහස් පොලිසිය වෙත යොමු කරන ලදී. එහෙත් ඊට රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි කිසිදු නිලධාරියෙකු පිළිතුරක් ලබා දුන්නේ නැත. ඉන් අනතුරුව සිය නියෝගය ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නඩුවේ සරත් කුමාර සහ සංජීව මදනායක යන සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට පත්වීමෙන් පසුව සැලකියයුතු කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති බව ප්‍රකාශ කළාය. එම කාලසීමාව තුළ ඔවුන් මෙම විමර්ශන කටයුතුවලට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් හෝ මැදිහත් වීමක් සිදු කර ඇති බවට කරුණු අනාවරණය නොවන බවද පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරිය ඔවුන් ඇප මත මුදා හරිනු ලැබූවොත් වරදක් සිදු කිරීමට හැකියාවක් පවතින බවට සාධාරණ කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවද පෙන්වා දුන්නාය. එමෙන්ම නඩුවේ හතර වන සැකකරු වශයෙන් නම් කරනු ලැබ සිටින මොහොමඩ් රූමි නැමැත්තා සංඥය නොවන වරදක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ආකාරය නිවරදි පටිපාටියට පටහැනි බව මහේස්ත්‍රාත් වරිය විසින් සිය ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කරන ලදී. "පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය විසින් නිවැරදි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීම වැදගත්. සංඥය නොවන වරදක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තුවක් ලබා ගැනීම අවශ්‍යයි. වරෙන්තුවක් නිකුත් කර නොමැති අවස්ථාවක යම් පුද්ගලයකු ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිසියට ඉදිරිපත් වුවහොත් ඔහු සිතාසියක් මත අධිකරණයට ගෙන්වාගැනීම සාමාන්‍ය ක්‍රියා පටිපාටියයි. ඒ අනුව මෙම නඩුවේ 4 වන සැකකරු අත්අඩංගුවට ගැනීමේදී රහස් පොලීසිය අනුගමනය කළ ක්‍රියාපටිපාටිය නිවැරදි නොවන බව පෙනී යයි" යනුවෙන් සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුවන්ට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් මතුවිය හැකි බවට කරුණු ද වාර්තා වී නොමැති හෙයින් ඔවුන් ඇප මත මුදාහරින ලෙස නියෝග කරන බව සඳහන් කළාය. මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ නියෝගයක් නිකුත් කරමින් මෙම නඩුවේ තුන්වන සැකකරු වන රාජිත සේනාරත්න නමැත්තා මේ වන විට නාරාහේන්පිට, ලංකා රෝහලේ ප්‍රතිකාර ලබන බවට ඔහුගේ නීතිඥවරු සඳහන් කරන බැවින් මීළඟ නඩු දිනයේදී ඒ බව තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තා සමග ඔහු අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව නියෝග කළාය. එමෙන්ම රහස් පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය කටහඬ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වීම සඳහා මෙම නඩුවේ සරත් කුමාර සහ සංජීව මදනායක යන සැකකරුවන්ට ලබන 08 වනදා රහස් පොලිසිය හමුවේ පෙනී සිටිය යුතු බවටද නියෝගයක් නිකුත් කළාය. ඉන් අනතුරුව නඩුව නැවත පෙබරවාරි මස 27 වනදා කැඳවීමට නියම කෙරුණු අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කර ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් රහස් පොලිසියට නියෝග කරන ලදී. මේ අතර ඇප මත මුදා හැරීමට පෙර රිමාන්ඞ් භාරයේ සිටි සරත් කුමාර සහ සංජීව මදනායක යන සැකකරුවන් දෙදෙනා මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේදී රහස් ප්‍රකාශයක් ද මහේස්ත්‍රාත්වරිය වෙත ලබාදෙන ලදී. (අධිකරණ වාර්තාකරු)
 

More News..