brand logo

SLT-MOBITEL සමාගම, Hack:bit 2020 වෙනුවෙන් STEMUP සමග එක්වෙයි

22 May 2021

ශ්‍රී ලාංකික තරුණ පරපුරේ නිර්මාණශීලීත්වය අවදි කිරීමේ අරමුණින්, ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන සේවා සැපයුම්කරුවා වන SLT-MOBITEL සමාගම, STEMUP අධ්‍යාපනික පදනම සමග එක්ව සංවිධානය කළ Hack:bit 2020, අන්තර් පාසල් සහ අන්තර් විශ්වවිද්‍යාල Hackathon වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. එහි අවසන් මහා තරගයේදී පාසල් හා විශ්ව විද්‍යාල කාණ්ඩ යටතේ ජයග්‍රහණය ලැබූ කණ්ඩායම්වලට රු. මිලියන 1.5 ක පමණ වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනැමීම ද විශේෂත්වයක් විය. අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද Hack:bit 2020 වැඩසටහන මගින් පාසල් හා විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට තම නිර්මාණශීලී අදහස්, ආකර්ෂණීය ක්‍රමවේදයක් තුළින් ඉදිරිපත් කිරීමට මෙන්ම තම හැකියාවන් ගවේෂණය කරමින්, නිර්මාණශීලී සංකල්ප යථාර්ථයන් බවට පත්කිරීමට අවස්ථාව උදාවිය. මෙම වැඩසටහන අතරතුර SLT-MOBITEL විසින් දරුවන් සඳහා STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත) අධ්‍යාපනය මැයෙන් වෙබ් සම්මන්ත්‍රණයක් ද පවත්වන ලදී. මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින්, SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා, "මෙම වැඩසටහන වෙනුවෙන් STEMUP අධ්‍යාපනික පදනම සමග එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. තාක්ෂණය මුල්කරගත් ආර්ථිකයක් බිහිකරමින් රට නංවාලීම සඳහා සාඩම්බරයෙන් උරදී සිටින ජාතික මට්ටමේ සේවා සම්පාදකයෙකු ලෙස, මෙවැනි වැඩසටහනකදී අනාගත පරපුරේ දක්ෂතා මතුවනු දැකීම අප ආයතනයට විශාල තෘප්තියක්. Hack:bit 2020 වැඩසටහන තුළදී මෙම සිසු සිසුවියන්ට නිර්මාණශීලීත්වය මුල්කරගෙන, උනන්දුවෙන් හා කැපවීමෙන් යුතුව තම කුසලතා පෙන්නුම් කිරීමට හැකියාව ලැබුණා. එමෙන්ම, විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු ශිල්පය සහ ගණිතය වැනි විෂයන්ට තව තවත් සමීප වීමට ඔවුන්ට මහඟු අවස්ථාවක් උදා වූවා", යනුවෙන් ප්‍රකාශ කළේය.
 

More News..