brand logo

SLT දායකත්වයෙන් සතොස අන්තර්ජාලය හරහා අලෙවි කටයුතු අරඹයි

13 July 2020

ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සිල්ලර වෙළෙඳාම් කටයුතු උසස් මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා වන රජයේ වැඩපිළිවෙළ අන්තර්ජාලය ඔස්සේ තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ලංකා සතොස, ශ්‍රී ලංකා ටෙලිකොම් සමග පසුගියදා අත්වැල් බැඳගත්තේය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා සැපයීමේ ප්‍රමුඛයා වන SLT, කාලීන වශයෙන් වඩාත් ගැළපෙන අලෙවි ක්‍රමවේදයක් ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය පාරිභෝගික භාණ්ඩ අලෙවිසැල් ජාලය වන සතොස වෙනුවෙන් නිර්මාණය කරන ලද වෙබ් අඩවිය ක්‍රියාත්මක කෙරේ. ලංකා සතොස සභාපති නුෂාඩ් එම්. පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වන අවබෝධතා ගිවිසුම පසුගියදා අත්සන් කෙරිණ. ජාත්‍යන්තර විද්‍යුත් වාණිජ තත්ත්ව සම්මතයන්ට අනුකූලව පාරිභෝගිකයාට ඉතා පහසුවෙන් තමා කැමති භාණ්ඩ ඇණවුම් කර ගෙන්වා ගැනීමේ පහසුකම් සහිතව SLT විසින් සතොස වෙබ් අඩවිය නිර්මාණය කර ඇත. OTP verification ආරක්ෂිත ඛේතය ලබාගනිමින් ජංගම දුරකථන අංකයෙන් හෝ ඊමේල් ලිපිනය ඇතුළත් කරමින් සතොස වෙබ් අඩවිය හා ඉතා සුරක්ෂිත ලෙස ලියාපදිංචි විය හැකිය. සතොස වෙබ් අඩවිය ඔස්සේ මිලදී ගැනීම් සිදුකිරීමේදී පළමුව shopping cart පහසුකම භාවිතා කර තමා කැමති භාණ්ඩ එකින් එක තෝරාගෙන, භාණ්ඩ ලබාගත යුතු ලිපිනය ඇතුළත් කළ යුතුය. ඉන්පසු භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම, බැංකු හරහා සෘජු මුදල් හුවමාරුව හෝ ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් යනාදී වශයෙන් ඇති මුදල් ගෙවීමේ ක්‍රමවේදයන් අතරින් තමාට වඩාත් පහසු මුදල් ගෙවීමේ ක්‍රමවේදය තෝරාගත හැකිය. දීප ව්‍යාප්ත සියලු සතොස ශාඛාවන්ට තමා සතුව ඇති භාණ්ඩ තොග පිළිබඳ විස්තර වෙබ් අඩවියට ඇතුළත් කිරීමේ පහසුකම වෙබ් අඩවියේ ඇති Merchant Module යටතේ හිමිවේ. එමගින් මිලගණන් / ප්‍රවර්ධන විස්තර/ විශේෂ වට්ටම් යනාදී භාණ්ඩ පිළිබඳ සියලු විස්තර නිරන්තරයෙන් යාවත්කාල කිරීමේ හැකියාව සතොස ශාඛාවන්ට හිමිවේ. මේ සියලු මෙහෙයුම් ඒ වෙනුවෙන්ම නිර්මාණය කරන ලද විශේෂිත Android app එකක් හරහාද ක්‍රියාත්මක කළ හැකිය. වෙබ් අඩවියට ඇතුළත් කෙරෙන බෙදාහැරීම පිළිබඳ තොරතුරු සතොස සමග එක්ව සිටින බෙදාහැරීම් නියෝජිතයන් වෙත සැණෙන් දැනුවත් කෙරෙන නිසා ප්‍රමාදයකින් තොරව ඇණවුම් කළ භාණ්ඩ පාරිභෝගිකයා වෙත යොමුකිරීම සිදු කෙරේ.
 

More News..