brand logo

SLIIT 2020 උපාධි ප්‍රදානෝත්සවය මහත් හරසරින් පැවැත්වෙයි

02 June 2020

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT, සිය 2020 උපාධි ප්‍රදානෝත්සවය මාලබේ පිහිටි සිය ප්‍රධාන අධ්‍යයන පරිශ්‍රයේදී, පෙබරවාරි 25 සිට 28 දක්වා සිව් දිනක් පුරා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය. මූලික උපාධි, පශ්චාත් උපාධි මෙන්ම පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී සිසුන් 1,200 දෙනකුගේ ජීවිතවල අලුත් පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කෙරුණු, මේ සෑම දිනයකදීම ප්‍රධාන ආරාධිතයන් ලෙස සුවිශේෂී පුද්ගලයෝ රැසක් සහභාගී වූහ. සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) සභාපති ජයන්ත ද සිල්වා මහතා, කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය කපිල පෙරේරා, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ විගණන කමිටු සභාපති ඇන්තනි නිහාල් ෆොන්සේකා මහතා, නාවික ඉංජිනේරු හා නාවික වාස්තු විද්‍යාඥ මංගල පී.බී. යාපා මහතා, ඕස්ට්‍රේලියාවේ Curtin සරසවියේ ජාත්‍යන්තර නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සෙත් කුනින් සහ එම විශ්වවිද්‍යාලයේ ප්‍රධානී මහාචාර්ය ජෝන් කෝඩරි යන මහත්වරු ඊට අයත්වූහ. උපාධි ප්‍රදානෝත්සවයේ වැඩකටයුතු ආරම්භ වූයේ SLIIT උපාධි පිරිනැමීමත් සමගය. එනම් SLIIT මගින් පිරිනැමෙන ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධිය, තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධි, සිවිල් ඉංජිනේරුවේදය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය, විදුලි හා ඉලෙක්ට්‍රොනික් විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය, යාන්ත්‍රික ඉංජිනේරුවේදය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය, යාන්ත්‍රික ඉංජිනේරුවේදය (මෙකාට්‍රොනික්ස්) පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය, ව්‍යවසාය හා යෙදවුම් සංවර්ධනය පිළිබඳ විද්‍යාපති උපාධිය, තොරතුරු කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය, තොරතුරු පද්ධති පිළිබඳ විද්‍යාපති උපාධිය, තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාපති උපාධිය, තොරතුරු තාක්ෂණය පිළිබඳ (සයිබර් ආරක්ෂණ) විද්‍යාපති උපාධිය සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ දර්ශන ශාස්ත්‍රපති, පශ්චාත් උපාධි ඩිප්ලෝමා මෙහිදී පිරිනැමිණි. උත්සව සභාව අමතමින් මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය කපිල පෙරේරා මහතා මෙසේ පැවසීය. “උපාධිය යනු දැනුම හා කුසලතා අත්පත් කරගැනීමේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර එය සැමරීමේ අවස්ථාවක්. SLIIT වසර ගණනාවක් තිස්සේ උසස් අධ්‍යාපනයේ සාර්ථකත්වය හා බැඳී සිටිනවා. අපි අභියෝග අවස්ථාවන් බවට පරිවර්තනය කරගත යුතුයි. ඔබ මිනිසුන් සමග කටයුතු කරන ආකාරය, ගැටලු, හැසිරීම් රටාව, ඔබේ ප්‍රවේශයන් ආදිය පිළිබඳ හැමදෙනෙක්ම විමසිල්ලෙන් බලාසිටිනවා. ඔබේ අවි ගබඩාවේ තිබිය හැකි බලවත්ම අවිය අධ්‍යාපනයයි”.
 

More News..