Uncategorized

SLIIT උපාධි පාඨමාලා හදාරන සිසුන්ට ණය ආධාර පහසුකම්

2019 වසරේදී උපාධිධාරීන් 306කට රුපියල් මිලියන 125ක SLIITණය ආධාර.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව දියත් කරන උසස් අධ්‍යාපන ණය ආධාර පිරිනැමීමේ වැඩසටහන යටතේ නව වසරේදී ද නවක විද්‍යාර්ථීන් වෙනුවෙන් උසස් අධ්‍යාපන ණය ආධාර පිරිනැමීමට SLIIT උසස් අධ්‍යාපන ආයතනය පියවර ගෙන තිබේ. මෙම ණය වැඩසටහන යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා උපරිම රුපියල් ලක්ෂ 8ක පොලී රහිත ණය පහසුකමක් සඳහා අයදුම් කිරීමේ අවස්ථාව සිසුන්ට හිමි වේ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේත් අනුමැතිය හිමි කරගෙන සිටින SLIIT, මෙම ණය වැඩසටහන යටතට ගැනෙන උපාධි පාඨමාලා කිහිපයක් ම පිරිනමයි. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අධ්‍යාපනවේදී (ගෞරව) උපාධිය, ජීව විද්‍යාව පිළිබඳ අධ්‍යාපනවේදී (ගෞරව) උපාධිය, භෞතික විද්‍යාව පිළිබඳ අධ්‍යාපනවේදී (ගෞරව) උපාධිය, ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධිය හා තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය යනාදිය ඒ අතර වේ. මෙම ණය පහසුකම හිමිවන්නේ වසර 4ක කාලයකට පාඨමාලා ගාස්තු ආවරණය කිරීමට පමණි. එම රුපියල් ලක්ෂ 8ක මුදල් ප්‍රමාණය SLIIT පිරිනමන ඉහත කී උපාධි පාඨමාලාවන්හි සාමාන්‍ය ගාස්තුවට වඩා අඩු අගයක් ගත්ත ද, සිසුන්ට අඛණ්ඩව තම අධ්‍යාපන කටයුතු හැදෑරීම වෙනුවෙන් ඉතිරි පාඨමාලා ගාස්තුව ද ආධාර වශයෙන් පිරිනැමීමට SLIIT පියවර ගෙන තිබේ.
මෙසේ රජය මගින් හිමිවන පොලී රහිත ණය මුදල මෙන්ම, SLIIT වෙතින් හිමිවන ආධාර මුදල ද සිසුන්ට දැවැන්ත ශක්තියක් වී තිබේ. මෙම රුපියල් ලක්ෂ 8ක ණය මුදල වසර 7-8 කාලයක් තුළ ගෙවා නිම කිරීමේ අවස්ථාව සිසුන්ට හිමි වේ. උපාධිය ලබාගැනීමෙන් වසරක් දක්වා ණය සහන කාලයක් ලබාදී තිබීම, සිසුන්ට හිමිවන තවත් පහසුකමකි.