brand logo

RMV ලොක්කන්ට ජනපතිගෙන් නියෝගයක්

27 December 2019

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන කාර්යක්ෂම ක්‍රමවේදයක් මසක් ඇතුළත සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඊයේ (26වැනිදා) දහවල් වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. එහිදී ජනතාව මුහුණ දුන් ගැටලු ජනාධිපතිවරයා සියැසින් දැකගත් අතර ජනතාවද සිය ගැටලු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළහ. මෙහිදී සේවාවන් ලබා ගැනීමට පැමිණ සිටි අයෙක් මෙසේ පැවසීය. සර්, මම මාතලේ, සහතිකේ ගන්න උදේ 8.30 ඉඳලා මෙතැන ඉන්නවා’’ ජනාධිපති - මෙතැන එන අයට නොම්බරයක් දෙන්නේ නැද්ද? සේවාවන් ලබා ගැනීමට පැමිණ සිටි අය - අපිට එක තැනකින් නොම්බරයක් දෙනවා. නමුත් මෙතෙන්ට ආවම නොම්මර පිළිවෙළක් නෑ.’’ ජනාධිපති - ඔයා මොකක්ද මෙතැන කරන්නේ (ප්‍රවේශපත්‍ර නිකුත් කරන කවුළුවේ සිටින නිලධාරියකුගෙන් අසයි) නිලධාරියා - සර්, අපි මෙතැන එක් දින සේවයේ ප්‍රවේශපත්‍ර නිකුත් කරනවා. ජනාධිපති - නම කතා කරලා නොම්බර පිළිවෙළට නොවෙයිද දෙන්නේ නිලධාරියා - නම කතා කරලා දෙන්නෙ සර්. ජනාධිපති - ඇයි ඔයා පැය පහක් මෙතැන ඉන්නේ? සේවාවන් ලබා ගැනීමට පැමිණි අයෙක් - මම මගේ නම වැරදිලා හදාගන්න ආවේ. ජනාධිපති - ඔයා මුලින්ම ඇවිත් කොතෙන්ටද ගියේ? සේවාවන් ලබා ගැනීමට පැමිණි පුද්ගලයා - මම ලිපියක් භාරදීලා නොම්බරයක් ගත්තා. ඊට පස්සේ පෝලිමේ ඉඳලා සල්ලි බැන්දා. දැන් මෙතෙන්ට ඇවිත් ඉන්නවා. තාම මොකුත් නෑ. ජනාධිපති - දැන් එයාට මොකක්ද වෙන්න ඕන (නිලධාරියාගෙන්) නිලධාරියා - කාඩ් එක ප්‍රින්ට් වෙලා එන්න ඕන සර් ඒක නිකුත් කරන්න. ජනාධිපති - එහෙනම් එයාට වෙලාවක් දෙන්න ඕන. එතකොට පුළුවන් එයාට වෙන වැඩක් තියෙනව නම් කරගෙන එන්න. සේවාවන් ලබා ගැනීමට පැමිණ සිටි අය - අපට පැය දෙකෙන් එන්න කිව්වේ. දැන් පැය පහක් ගෙවිලා. ජනාධිපති - මෙතැනට කෙනෙක් එනවා නම් ආව ගමන් අවශ්‍ය දේ කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙන්න ඕන. රස්තියාදු නොකර. සේවාවන් ලබා ගැනීමට පැමිණ සිටි අය - මෙයාලා කාරුණිකව කතා කරන්නෙ නෑ. සැරකරනවා. ඉස්සරහා ඉන්න අයට රුපියල් 4000ක් ගෙව්වා නම් ඉක්මනට අරන් යන්න තිබුණා. අපට පස්සේ ආව අය අවශ්‍ය දේ කරගෙන ගියා. ජනාධිපතිවරයා - රාජ්‍ය සේවය තියෙන්නේ ජනතාවට සේවය කරන්න .ඇයි මෙතෙක් කාලයක් හරි ක්‍රමවේදයක් හැදුවේ නැත්තේ? මට මාසෙකින් ඒක හදලා ඕන. කවුද ඔයාලගෙ බොස්? නිලධාරීන් - මෙතන කොමසාරිස් කෙනෙක් ඉන්නවා ජනාධිපති - කොහෙද එයා? නිලධාරීන් - ප්‍රධාන කාර්යාලයට ගියා ජනාධිපති - එයා මෙතැන ඉන්න ඕන. බලන්න මේ සෙනගට ඉන්නවත් තැනක් නෑ. සේවාවන් ලබා ගැනීමට පැමිණ සිටි අයෙක් - සර් මම ​ඩොක්ටර් කෙනෙක්. ගාල්ලේ ඉඳල ආවේ. මම කිහිප තැනකටම ගියා. අපිට පස්සේ ආව අය වැ​ඩේ කරගෙන ගියා. ජනාධිපති - ඩොක්ටර් කෙනෙක්ගේ කාලය නාස්ති වෙනවා කියන්නේ මොන තරම් අපරාධයක්ද? සේවාවන් ලබාගැනීමට පැමිණ සිටි අය - සර් මේකේ කවුළු 10ක් තියෙනවා. ඒකෙන් 4යි අද ඇරල තියෙන්නේ. ජනාධිපති - මම ආරක්ෂක ලේකම් විදියට රාජ්‍ය සේවයේ යෙදී සිටියා. දවසකට ෆයිල් 1000ක් ආව දවස් තිබුණා. ඒ හැම එකකම කරන්න ඕන ටික කරලා තමයි මම ගෙදර යන්නේ. මම ජනාධිපති වුණාට මම සේවය කරන්න ඇවිත් තියෙන්නේ. මගේ මේ ධුර කාලයේ රාජ්‍ය සේවය ජනතා සේවයක් බවට පත්වෙන්න ඕන. මේ ආයතනයේ ක්‍රමවේදය මසක් ඇතුළත නිවැරදි වෙන්න ඕන. මේ ගැන ගොඩක් පැමිණිලි එනවා. ඡායාරූප ගැනීමේ සිට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම දක්වා වූ සියලුම අංශ මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. මේ ආයතනයේ සේවක පුරප්පාඩු පවතින්නේ නම් බඳවා ගැනීමට නියමිත උපාධිධාරීන් 54,000න් සුදුසු පිරිස් ඒ සඳහා බඳවා ගත හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ශිරන්තනි මානවඩු දර්ශන කනිල් - මොරටුව
 

More News..