brand logo

QR පාස් එකට අදත් තෙල් නැහැ

25 July 2022

කිසිදු ඉන්ධන පිරවුම්හලක් QR කේතය ගැන දැනුවත් නැහැ

සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉන්ධන පිරවුම්හල්වලින් QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීම අද (25 වැනිදා) සිට ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය කියා සිටියත් කිසිදු ඉන්ධන පිරවුම්හලක් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර නොමැති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය 'අරුණට' කියා සිටියේය. එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පවසා සිටින්නේ තවමත් ඉන්ධන නොලැබෙන පිරවුම්හල් රට පුරා ඇති බවය. එමෙන්ම පිරවුම්හල්වලට දැනට ලබාදෙන තොග ද ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දෙයි. මෙම කේත ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීමට සියලු ඉන්ධන පිරවුම්හල් එකඟ බවත්, ඒ හරහා පවතින තෙල් මාෆියාව තුරන් කිරීමේ හැකියාව පවතින බෙදුම්කරුවන්ගේ අදහස බවත් ලේකම්වරයා කියා සිටියේය. ඉන්ධන නොමැති වීමෙන් වසා දමා තිබූ කාලයේද පිරවුම්හල්වලට හමුදා ආරක්ෂාව ලබාදී තිබූ බවත් QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීමට පෙර පිරවුම්හල්වලට ලබාදී තිබූ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව යළි ලබාදෙන්නැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය බලශක්ති ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි. ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළව කිව්.ආර්. කේතයට ඉන්ධන ලබාදීම පෙරේදා (23වැනිදා) දිවයින පුරා ස්ථාන 20 කදී වාහන 4,708 කට නියමු ව්‍යාපෘතියක් ලෙස සාර්ථකව අත්හදා බලා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්ව්ට්ර් පණිවිඩයක් නිකුත් කරමින් ඊයේ (24 වැනිදා) සඳහන් කර තිබේ. නමුත් ඇණවුම් ලබානොදීම, ඇණවුම් ප්‍රමාදයන් සහ බෙදාහැරීමේ ප්‍රමාදයන් හේතුවෙන් කිව්.ආර්. කේතය පරීක්ෂාවට ලක්නොවූ ස්ථාන 5 ක් තවමත් ඇති බැවින් ඉදිරි දින දෙක තුළ එම ප්‍රදේශවලද මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා මෙම පණිවිඩයේ සඳහන් කර ඇත. මෙම බලපත්‍රයට අනුව QR කේතය පරික්ෂා කරන වාහනවලට අද දිනයේද වාහන ලියාපදිංචි කිරීමේ අංකයේ අවසාන ඉලක්කමට අනුව ඉන්ධන නිකුත් කරනු ලැබේ. අද දිනයට එනම් සඳුදා දිනයට ඉන්ධන ලබාගත හැක්කේ අංක වන 6, 7, 8, සහ 9 හිමි වාහන හිමියන් සඳහා පමණි. මේ වන විට මිලියන තුනකට වැඩි පිරිසක් මෙම බලපත්‍රයට අනුව ඉන්ධන ලබාගැනීමට ලියාපදිංචි වී සිටියි. වාහන අංක තහඩුවේ අවසන් අංකය 0 -1 හෝ 2 නම් අඟහරුවාදා හා සෙනසුරාදා දිනවල අවසන් අංකය 3-4-5 නම් බ්‍රහස්පතින්දා හා ඉරිදා දිනවලද අවසන් අංකය 6-7-8-9 නම් සඳුදා – බදාදා සිකුරාදා දිනවලදී ද පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත හැකිය. මේ අතර වාහන අංක තහඩුවේ අවසාන අංක ක්‍රමයට අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුකළද දිවයිනේ බෝහෝ ප්‍රදේශවල පිහිටි පිරවුම්හල් වෙත ඉන්ධන තොග ලැබී නොමැති බව ජනතාව පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය කියා සිටින්නේ ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැරෙන ටැංකි රථ ගණන සීමා කර ඇති බවය. මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරල ඇත්තේ දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් පමණ බෙදාහැරීමට බැවින් එම හේතුව මත සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙනු ඇත්දැයි යන්න සැක සහිත බව එම සංගමය පෙන්වා දෙයි. අද දිනයේ සිට මෙම QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීමක් සිදුවනවාද යන්න දැනගැනීම සඳහා අප විදුලි බල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම උත්සහ කළත් ඔහු එයට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. එමෙන්ම මේ සම්බන්ධයෙන් අප අමාත්‍යංශයේ වගකිව යුතු නිලධාරියෙකුගෙන් විමසීමක් සිදුකළවිට ඔහු ද පැවසුවේ ඒ සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බවය. තවමත් ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගැනීමට ලියාපදිංචි වී නොමැති කණ්ඩායමක්ද ඇති බවත් ඔහු කීය. මේ අතර ඉන්ධන පෝලිම්වල රැඳී සිටි තවත් පුද්ගලයෝ තිදෙනෙක් ඊයේ සහ පෙරේදා (23 වැනිදා) මියගොස් ඇත. මෙම තිදෙනාත් සමග ඉන්ධන පෝලිම්වල රැඳී සිටිය දී මේ දක්වා පුද්ගලයෝ විසි හතර දෙනෙක් මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල, පොතුවිල් සහ ඌරගස්මංහන්දිය යන ප්‍රදේශයන්හි පදිංචිව සිටි පුද්ගලයන් ය. පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සමෘද්ධි සංවර්ධන නිලධාරියකු ලෙස සේවය කරන පනස් දෙහැවිරිදි එස්.ඩබ්. දිසානායක මෙලෙස මියගොස් ඇත. හෙතෙම තිදරු පියෙකි. ඌරගස්මන්හන්දිය තෙල් පිරවුම් හලේ පෝලිමේ දින පහක් තිස්සේ රැඳී සිටි පුද්ගලයකු ඇද වැටීමෙන් මියගොස් ඇති බව ඌරගහ පොලිසිය පවසයි. මෙසේ ලෙස මියගොස් ඇත්තේ තම කුඩා ලොරියට ඉන්ධන ලබා ගැනීමට පැමිණි උෟරගස්මංහන්දිය පොල් අතු පළාත ප්‍රදේශයේ පදිංචි ජී. වීරසේන (81) නමැති අයෙකි. පිළියන්දල මඩපාතදී ඊයේ මරණයට පත් වූයේ අනුර පුෂ්පකුමාර නමැති 50හැවිරිදි අයෙකි. අශිකා ජයවීර/ දිනේෂ් ප්‍රියනාත් - පානම / ආර්.එස්. ධර්මදාස - බලපිටිය, ඒ.ඒ.චම්පිකා - ඇල්පිටිය
 

More News..