brand logo

PCR පරීක්ෂණ වැඩිවීම සංචාරකයින්ට ප්‍රශ්නයක්

01 October 2020

ශ්‍රී ලංකාවට ඉදිරියේදී පැමිණෙන සංචාරකයන් සඳහා පනවා ඇති පීසීආර් (PCR) පරීක්ෂණ සංඛ්‍යාව පිළිබඳව ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL) සහ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සංචාරක මෙහෙයුම් කරුවන්ගේ සංගමය (SLAITO) කනස්සල්ල පළකර තිබේ. පසුගිය සැප්තැම්බර් 23 වැනිදා වාණිජ මණ්ඩලය සංවිධානය කළ මාධ්‍ය හමුවකදී හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත පවසා ඇත්තේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නියමකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව අනාගතයේදී රටට ඇතුළුවන අමුත්තන්ට බාධාවක් විය හැකි බවයි. මාලදිවයින වැනි දකුණු ආසියානු කලාපයේ අනෙකුත් තරගකාරී රටවල් සිය රටට ඇතුළුවීමේදී සංචාරකයන්ට නිර්දේශ කර ඇත්තේ එක් පී.සී.ආර්. පරීක්ෂණයක් පමණක් බවද සභාපතිවරයා සඳහන් කර ඇත. ‘‘සංචාරකයන් මෙලෙස කිහිප වරක් පරීක්ෂණවලට ලක්වේදැයි කියන්න බැහැ. එය ඔවුන්ට අපහසුතාවක්. එම නිසා අපි මේ තීරණය සමාලෝචනය කළ යුතුයි. ඒ වගේම හැකි ඉක්මනින් අපගේ සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමට උත්සාහ කළ යුතුයි’’ යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කර තිබේ. එසේම සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සභාපති මහේන් කාරියවසම්ද ප්‍රකාශ කර ඇත්තේ රටේ දෘෂ්ඨිකෝණයට අනුව සෞඛ්‍යය ‘අංක එක’ ලෙස සැලකිය යුතු නමුත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන සංචාරකයන් මෙම පරීක්ෂණ වැඩි සංඛ්‍යාවකට ලක් කිරීමේ තීරණයෙන් ඔවුන් අධෛර්යමත් විය හැකි බවයි. විශේෂයෙන්ම රටට පැමිණ අනිවාර්යයෙන් දින 14ක් හෝටලයක නිරෝධායනයට ලක්වීම පිළිබඳව මෙන්ම වෙනත් රටවල් එක් පී.සී.ආර්. පරීක්ෂණ පමණක් සිදුකිරීම කෙරෙහිද සංචාරකයන් අනිවාර්යයෙන්ම අවධානය යොමු කරනු ඇතැයිද සභාපතිවරයා ප්‍රකාශ කර ඇත. නයන තරංග ගමගේ
 

More News..