විශේෂාංග

PCR වාර්තා ඔරලෝසුවේ බට්ටා වගේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට ගිය සතියේ ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී තිබුණේය. ඒ සමගම ඇය සමීපව ඇසුරු කළ තවත් සිසුවියන් දෙදෙනකුත් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කෙරිණි. එම සිසුවියන් දෙදෙනාගෙන් එක් සිසුවියකට වයිරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණයෙන් හෙළි විය. නමුත්, පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් ලැබුණු ප්‍රතිඵලයේ උණුසුම ඉවත්ව යෑමටත් මත්තෙන් ආරංචි වූයේ ඇය ආසාදිතයකු නොවන බවයි. ඒ සවස් කාලයේ යළිත් වරක් කළ පී.සී.ආර්. පරීක්ෂණකින් ලැබුණු වාර්තාවට අනුවය. මේ ශිෂ්‍යාවට කොවිඩ් 19 වැලඳී නැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ ද සනාථ කළේය.

රත්මලානේ ද මෙවැනි සිද්ධියක් වාර්තා විය. රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයකුට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී තිබුණේය. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔහුට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ පළමු වරට හෝ දෙවැනි වරට කළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවෙන් නොව තුන්වැනි වරට කළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවට අනුවය.

ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දැන් පන්දහසේ සීමාව පසුකර අවසන්ය. බොරැල්ලේ වෛද්‍ය පර්‌යේෂණ ආයතනය මගින් පමණක් කළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් දහසකි. පෞද්ගලික අංශයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයන්ගේ එකතුවද ගණන් බැලුවේ නම් ලංකාවේදී කළ මුළු පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව හාර ලක්ෂය ඉක්මවා යෑමට පුළුවන.

එත් සමාජයට පැන නැගී ඇති ගැටලුව වන්නේ දිනකට කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ ගණන හෝ දැනට කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව නම් නොවේ. ඔවුන්ට සැබෑවටම ඇති ගැටලුව වන්නේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවේ තිබෙන නිරවද්‍යතාවයි. එසේ ඔවුන්ට සිතීමට සිද්ධ වී ඇත්තේ පසුගිය දිනවල දිගින් දිගටම පැමිණි පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවන්වල තිබුණු වැරදි නිසාය. මෙසේ වැරදි ලෙස සඳහන්ව තිබූ වාර්තාවල ‘කොවිඩ් 19’ වසංගතය ආසාදනය නොවූ පුද්ගලයන් ආසාදනය වූ අය බවටත් ආසාදනය වූ පුද්ගලයන් ආසාදිතයන් නොවන අය බවටත් පත්කර තිබුණි.

මේ හේතුවෙන් මොහොතින් මොහොත ඔරලෝසුවේ බට්ටා ගමන් කරන වේගයෙන් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවන් වෙනස් විය හැකි දැයි වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වයිරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහගෙන් අපි විමසා සිටියෙමු. ඔහු කීවේ, පී.සී.ආර්. පරීක්ෂණයේ අවසාන ප්‍රතිඵලය කරුණු කීපයක් මත රඳා පවතින බවයි.

‘‘යම්කිසි ආසාදිත පුද්ගලයකුගේ හෝ වයිරසය අන්තර්ගත යැයි සැක කෙරෙන අයගේ නාසයේ හෝ උගුරේ ඇති සෙම පටලවල වයිරසය තියෙන්න පුළුවන්. ඒත් තවත් පිරිසකගේ එම සෙම පටලවලට වයිරසය ශ්‍රාවය නොවන්නත් පුළුවන්. එවැනි අවස්ථාවකත් පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව වෙනස් වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම වයිරස් පරීක්ෂණයේ අවසාන ප්‍රතිඵලය ගන්නා නිදර්ශක වර්ගය, අදාළ රෝගියාගේ ආසාදිත දවස, නිදර්ශක එකතු කර ගන්නා භාජන, ඒ දර්ශකය ප්‍රවාහනය සහ ගබඩා කිරීම යන කරුණු මතත් පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව වෙනස් වන්නට පුළුවන්.”
වෛද්‍ය පර්‌යේෂණ ආයතනය වෙත ලැබෙන පැමිණිලි හෝ පරීක්ෂණ වාර්තා සැක සහිත යැයි යමෙක් පැවැසුවහොත්, එය පැය විසි හතරක් ඇතුළත නැවත ගැඹුරින් විශ්ලේෂණය කිරීමටත් හැකියාව තිබේ. එමෙන්ම, අවශ්‍ය වුවහොත් දෙවන වරටත් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා ඉල්ලීමක් කිරීමටත් ඕනෑම අයකුට හැකියාව ඇති බව වයිරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ කීවේය.

ඔහු මෙලෙස කියූ කරුණුවලට අමතරව තවත් කරුණු කාරණාවන් ගණනාවක්ම පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවන් වෙනස් වීම කෙරෙහි බලපා තිබුණි. එහිදී, ප්‍රධාන වශයෙන් නිවැරදි සාම්පල රසායනාගාරය වෙත නොලැබීම, සාම්පල තුළ ප්‍රමාණවත් තරම් වයිරසයන් අඩංගු නොවීම වැනි කරුණු බලපෑ හැකි බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් කීවේය.

එත්, විධිමත් පරිදි පවත්වා ගෙන යනු ලබන රසායනාගාරයකින් එවැනි ආකාරයේ වැරදි වාර්තා නිකුත් වීමේ කිසිදු ඉඩකඩක් නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහසයි. එයට හොඳම නිදසුන වෛද්‍ය පර්‌යේෂණ ආයතනයයි.
මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ කරන තුන්ගොල්ලක් සිටිති. ඒ රජයේ රෝහල්, පෞද්ගලික රෝහල් හා විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය. පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. පරීක්ෂණ කෙරෙන්නේ රුපියල් හත්අට දහසක මිලකටය. ප්‍රවාහන ගාස්තුද එකතු කළ විට එම මිල වැඩි වීමට පුළුවන.

මේ වන විට රජයේ රෝහල්වල ඇත්තේ පී.සී.ආර්. පෝලිමකි. පරීක්ෂණ වාර්තා එන විට දින තුන හතර පහු වන්නේය. වාර්තාව එනතුරු ඇතැම් පුද්ගලයෝ හතර වටේම ගොස් තිබේ. එවිට සියල්ල සිදුවී හමාරය.

‘‘අපි මොනම අවස්ථාවකවත් කියලා නැහැ අපිට ලැබෙන පී.සී.ආර්. සාම්පලවල ධාරිතාවය වැඩියි කියලා. අපිට වැඩේ කාර්යක්ෂමව කරන්න අලුත් මැෂින් කිහිපයක් ලැබුණොත් හොඳයි. අනික පී.සී.ආර්. සාම්පල වැඩි වෙන්න වැඩි වෙන්න අපි ළඟ තියන පරීක්ෂණ යන්ත්‍ර වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ විදිහට තුන්දහසක පමණ පී.සී.ආර්. සාම්පල පරීක්ෂා කරන්න බැරුව ඉන්නෙ. අනික ලෝකයේ තියනවා පැයෙන් පරීක්ෂණ කරලා වාර්තා දෙන්න පුළුවන් පරීක්ෂණ යන්ත්‍ර. අපි අමාත්‍යංශයට කියන්නේ අන්න ඒවගේ යන්ත්‍ර කිහිපයක් අපිට ගෙනත් දෙන්න කියලා.’’ රවි කුමුදේශ් පවසයි.

මෙලෙස රජයේ ආයතනවල අඩුපහසුකම් යටතේ හෝ රෝහල් සතුව ඇති පී.සී.ආර්. යන්ත්‍රවලින් හෝ හරිහැටි ප්‍රයෝජනයක් නොගැනීම නිසා සිදුවන්නේ පෞද්ගලික අංශය වෙත මහජනයා නැඹුරු වීමය. ඇතැම් වෛද්‍යවරුන් විසින්ම රෝගීන්ව පෞද්ගලික අංශයේ ඇති පර්‌යේෂණාගාර වෙත තල්ලු කිරීමක් ද දක්නට ලැබුණි. එහි අවසාන ප්‍රතිඵල වන්නේ නිසි පරීක්ෂණයකින් තොරව නිකුත් කරනු ලබන වාර්තාවන් නිසා පුද්ගලයන් අපහසුතාවයට පත්වීමය. ඊට ආසන්නම උදාහරණය ‘සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගමේ’ සේවකයන් දෙදෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් ‘පොසිටිව්’ වීම නිසා ඔවුනට මුහුණ දීමට වූ අකරතැබ්බය මේ දිනවල කොරෝනා පොකුරු පිළිබඳව කතා වන පසුබිමක ඔවුන්ගේ ආයතනය මගින් පුර්ව ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකින් ඔවුන්ට පී.සී.ආර්. පරීක්ෂණයක් කර තිබුණි. එම පරීක්ෂණ ප්‍රතිඵලයට අනුව ඔවුන්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා විය. නමුත්, එම රෝහල මගින් පසුව ඔවුන්ට දන්වා තිබුණේ ඔවුන් අතින් පරීක්ෂණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් කිසි දෝෂයක් සිදුව ඇති බවයි.

නමුත්, මෙවැනි ජාතික අවශ්‍යතාවයක් ඇති මොහොතක එවැනි වැරදි ආකාරයේ පර්‌යේෂණ වාර්තාවන් නිකුත් කරනු ලබන පෞද්ගලික රෝහල්වලට එරෙහි මෙතෙක් ගත් පියවරක් නැත. එසේ වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් ගැන සොයා බලන්නට වෙනම අධ්‍යක්ෂවරයෙක්ද සිටියි.

පෞද්ගලික අංශය මගින් සිදු කරනු ලබන වැරදි පර්‌යේෂණයන් නිසා වර්තමානයේදී සිදුව ඇත්තේ ඔවුන් සිදු කළ පර්‌යේෂණ වාර්තාවන් නැවත නැවතත් ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට බොරැල්ලේ වෛද්‍ය පර්‌යේෂණ ආයතනයට සිද්ධ වීමය.

‘‘පෞද්ගලික අංශය කරන වැඩවලින් වෙන්නේ අර රජයෙන් පී.සී.ආර්. පර්‌යේෂණ වාර්තාවන් දෙන්න පෝලිමේ ඉන්න අසරණ පුද්ගලයන්ගේ කාලය නාස්ති කරන එක. බොහෝ අය පෞද්ගලික අංශයට වැඩියෙන් සල්ලි ගෙවලා පී.සී.ආර්. පරීක්ෂණයන් කර ගන්නවා. එත් ඇත්තටම වෙන්නේ ඔවුන් කරන පරීක්ෂණවල වාර්තාවන් අයෙත් අපි දෙවැනි වරටත් පරීක්ෂා කරන එක. අනික මේ විදිහට දොළොස් දහසේ සහ පහළොස් දහසේ මුදල් ගෙවලා පෞද්ගලික අංශයෙන් පී.සී.ආර්. පර්‌යේෂණ කරන අයගෙත් වගකීම ගන්න ඕනෙත් අපි. අනික ඊයේ පෙරේදත් ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවන් තිස් හයකට වැඩි ගණනක් ආයෙත් අපිට බලන්න වුණා.”

මේ අතරේ පී.සී.ආර්. පරීක්ෂණ පමණක් නොව පී.සී.ආර්. සඳහා සාම්පල ගැනීමේ දී තවත් ප්‍රශ්නයක් උද්ගත වී ඇත්තේය.
අද වන විට ලංකාව තුළ පී.සී.ආර්. පරීක්ෂණයන්ට කේටය දීමට බොහෝ දෙනෙකු මැළිකමක් දක්වයි. එයට හේතුව වන්නේ සමාජ මාධ්‍යවල මේ දිනවල සංසරණය වීඩියෝවක එම පරීක්ෂණය සඳහා කේටය ගැනීම ඉතාමත් වේදනාකාරී දෙයක් ලෙස උපුටා දැක්වීම නිසාය. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ්ගෙන් අපි මේ පිළිබඳව විමසුවෙමු. එහිදී, ඔහු කිවේ, නාසයට සහ උගුරට සියුම් උපකරණයක් දමා ඉතාමත් ප්‍රවේසම්කාරීව ඔවුන්ගේ කේටය ලබා ගන්නා බවයි. එමෙන්ම,මෙය කළ යුත්තේ වෛද්‍යවරයෙක් හෝ ඒ පිළිබඳව හොඳ දැනුමක් ඇති පුද්ගලයෙකි.
එත්, වර්තමානයේදී බොහෝ තැන්වල කේටය ලබාගැනීමේ ක්‍රමවේදය කරන්නේ, ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති පිරිසක් බව ඔහු කිවේය. එවැනි අවස්ථාවක ඔවුන්ගේ අතින් කේටය ලබා ගන්න පුද්ගලයාගේ නාසය හෝ උගුර තුවාල වී ලේ ගැලීමක් පවා සිදුවීමට ඉඩ ඇති බව ඔහු කීවේය.

හර්ෂණී දිසානායක