විශේෂාංග

OT ගන්නා දොස්තර මහත්වරු

රජයේ සේවකයන්ගේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියාවන්හි නිරත වන බොහෝදෙනාගේ අපේක්ෂාව වන්නේ මාසේ අන්තිමට දෙන වැටුපට අමතර තවත් ගතමනාවක් සොයා ගැනීමය. ඒ වෙනුවෙන් තම වැඩමුරය අවසන් කර තව පැය දෙකක් හෝ තුනක් අමතර රාජකාරි කිරීමට ඔවුන් පෙලඹේ. මෙසේ ගන්නා ”අතිකාල දීමනාව” ඔවුන්ට ලැබෙන්නේ වැඩිපුර වැඩකළ පැය කිහිපය මානව සම්පත් අංශයේ හෝ ලිපිකරුවෙක් ළඟ නිවැරදිව සටහන් වී තිබුණහොත් පමණි. නමුත්, තමන්ගේ පැමිණීම හෝ පිටවීම සටහන් නොකරන, ඒත් ”අතිකාල දීමනාව” නොපමාව ලැබෙන අරුම පුදුම රජයේ වෘත්තිකයන් කණ්ඩායමක් ලංකාවේ සිටිති. මේ වෘත්තිකයන් වන්නේ දොස්තර මහත්වරුන්ය.

මහත්වරුන් යනුවෙන් කීවාට ඔවුන් අතිකාල ගන්නා ක්‍රමය මහත්වරුන්ට නොගැළපෙන ක්‍රියාවක් බවට චෝදනා එල්ල වන්නේ අද ඊයේ සිට නොවේ.

රජයේ අනෙකුත් සේවකයන් රාජකාරිය සඳහා විදුලි වේගයෙන් පැමිණෙන්නේ ප්‍රමාදයේ සලකුණ වන ”රතු ඉර” වැදෙන්නට පෙරය. එත් දොස්තර මහත්වරුන්ට නම් ”රතු ඉර” යනු කවදාවත් වැටෙන ඉරක් නම් නොවේ. එයට හේතුව වන්නේ ”ප්‍රමාදය පසුතැවිල්ලට මුල යැයි” සිතා වේලාසනින් රාජකාරියට පැමිණෙන නිසා නොව ඔවුන්ට කියා ඇඟිල්ල තබන්නට හෝ පැමිණීම සටහන් කිරීමටවත් පොතක් නොමැති නිසාය.

ඒත් 2006 වසරේ සැප්තැම්බර් මාසයේදී රජයේ රෝහල්හි සිටින කාර්ය මණ්ඩලයට පැමිණීමේ වාර්තා තැබීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර දෙසිය තිස් හයක් රට පුරා ඇති රෝහල් කිහිපයකම ස්ථාපනය කිරීමට රැගෙන ආවේය. ඒ සඳහා රජයට වැයවූ මුළු මුදල දෙකෝටි අසු පන් ලක්ෂ විසි එක්දහස් දෙසියකි. නමුත්, එයින් යන්ත්‍ර අටක් පමණක් රෝහල් කිහිපයක ස්ථාපනය කිරීමට අවස්ථාව ලැබුණු බව එකල සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ලලිත් දිසානායක 2012 වසරේ දෙසැම්බර් තුන්වැනිදා පැවති පාර්ලිමේන්තු විවාදයේදී සඳහන් කළේය.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි සජිත් ප්‍රේමදාස, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ මෙලෙස ඇඟිලි සලකුණු යන්ත්‍ර ස්ථාපනය කිරීමෙන් යම්කිසි ප්‍රතිලාබයක් ලැබුණේද යන්නයි. එහිදී ලලිත් දිසානායක කිවේ,

”ප්‍රතිලාබ නම් ඒමට තියනවා. එත් සෞඛ්‍ය වෘත්තීය සමිති බලපෑම් මත රෝහල් පරිපාලනයට ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම අපහසු වුණා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව රජයේ සේවකයන්, නිලධාරීන් සේවයට වාර්තා කිරීමේදී අත්සන් කළ යුතුයි. ඒ අනුව රජයේ රෝහල්වල කාර්ය මණ්ඩල සේවයට වාර්තා කිරීම විධිමත්ව සහ වඩා කාර්යක්ෂම කිරීමේ චේතනාවෙන් තමයි මෙම තීන්දුවට එන්න ඇත්තේ. අනික පරිපාලන තීන්දුවක් ගන්න වෘත්තීය සමිතිවලින් අහන්න අවශ්‍ය නැහැ” යනුවෙනි.

නමුත් සෞඛ්‍ය සේවයේ සිටින වෘත්තීය සමිති එකසිය හතරෙන් වඩාත්ම බලවත්ම කාණ්ඩය වන්නේ වෛද්‍යවරුන්ය. ඔවුන් නියෝජනය කරන ප්‍රධාන වෘත්තීය සමිතිය වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඔවුන් පළමුව ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීම ප්‍රතික්ෂේප කළ අතර ඔවුන්ව අනුගමනය කරමින් හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ද මෙය ප්‍රතික්ෂේප කිරීමට පටන් ගත්තේය. පසුව ඔවුන් මිලියන විසි අටක් වූ රජයේ නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ ප්‍රතිකාර ලබන රෝගීන්ව මරු කටට තල්ලු කරමින් ‘ඇඟිලි සලකුණු යන්ත්‍ර’ එපා යැයි උද්ඝෝෂණය කළේය. වැඩ වර්ජන කළේය. ඒ රෝගීන් වෙනුවෙන් නොව තමන්ගේ බඩ ගැන හිතාය. එයත් ලංකාවේ මිලියනයකට අධික සේවකයන් තම පැමිණීම සටහන් කරද්දී එක් ලක්ෂ තිස් දහසක් වූ සෞඛ්‍ය සේවකයන් පමණක් එය ප්‍රතික්ෂේප කරන මොහොතකය.

කෙසේ හෝ සෑම රජයක් විසින්ම ඉදිරිපත් කරන අයවැයෙන් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වැය කරනු ලබන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙනි. ඒත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම උද්ඝෝෂණය කරන්නේ ඔවුන්ගේ පඩි වැඩි කරන ලෙසත් ”අතිකාල දීමනාවන්” නොපමාව ගෙවන ලෙසත්ය.
මෙසේ ඔවුන් පඩි ගැනම කතා කරන මොහොතක වෛද්‍යවරුන් ලබන වැටුප පිළිබඳව සඳහනක් කළ යුතුමය. එහිදී, වෛද්‍යවරයකුට ලැබෙන සාමාන්‍ය වැටුප වන්නේ රුපියල් අනුපන් දහසකි. එය ඔවුන්ට දෙන ”අතිකාල දීමනාවන්” ද නොමැතිවය. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකුගේ පළමු වැඩමුරය පටන් ගන්නේ උදෑසන අටේ සිට දහවල් දොළහ දක්වාය. ඊළඟ වැඩමුරය දහවල් දෙකේ සිට සවස හතර දක්වා පවතින අතර ඉන්පසුව සෑම පැයකදීම ඒ සඳහා අමතර ”අතිකාල දීමනාවක්” ද ඔවුන්ට හිමිවේ. එසේ ලැබෙන මුදලත් එක් එක් වෛද්‍යවරයාගේ ශ්‍රේණියට අනුව වෙනස් වනු ඇත.

එනම්, ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරයෙක් නම් පැයකට රුපියල් හයසිය අසුහතක මුදලක් ”අතිකාල” වශයෙන් ලැබෙන අතර දෙවන ශ්‍රේණියේ වෛද්‍යවරයකුට ලැබෙන්නේ රුපියල් හත්සිය අනූ හයක් වන ”අතිකාල දීමනාව” කි. මෙය පළමු ශ්‍රේණියේ වෛද්‍යවරයකුට නම් රුපියල් එක්දහස් එකසිය එකක ”අතිකාල දීමනාව” ක් වශයෙන් ගෙවන්නේය.

සාමාන්‍යයෙන් රජයේ චක්‍ර ලේඛනයට අනුව සෑම වෛද්‍යවරයකුටම දවසකට අතිරේක පැය හතරක් ලැබෙන අතර එය මාසයකට පැය එකසිය විස්සකි. මේ ආකාරය ගන්නා ”අතිකාල දීමනාවන්” ඔවුන්ගේ වැටුපට සමාන වන බවත් සමහර අවස්ථාවලදී එය වැටුපේ අගයත් පසුකර යන බවත් ”අතිකාල දීමනාව” නම් ”කැවිලි බඳුනේ” රස දන්නෝ දනිති.

නමුත්, මෙසේ වෛද්‍යවරුන් ගන්නා ”අතිකාල දීමනාව” සැබෑවටම අමතර කාලයක් සේවයේ නියුතුව සිටියදී ගන්නේ දැයි බොහෝ අයට අද පැනනැගී ඇති ගැටලුවකි. එයට හේතුව වන්නේ ඔවුන් ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සටහන් තැබීම පවා ප්‍රතික්ෂේප කරන නිසාය. එත් ඔවුන් සතුව දින පොතක් ඇත. එහි වෛද්‍යවරුන් පැමිණෙන වේලාව, පිටව යන වේලාව සහ අමතරව රෝහලේ සිටින වේලාවන් පිළිබඳව සටහනක් තබයි. එම සටහනට අනුව ඔවුන්ගේ අමතර දීමනාවන් දෙන්නේ එම පොතේ හැටියටය. එත් මෙහි ඇති ගැටලුව වන්නේ වෛද්‍යවරයාගේ දින පොත සටහන් තබනු ලබන්නේ ඔහු විසින්ම වීමය.

මෙලෙස වෛද්‍යවරයා තැබූ වාර්තාවේ හරි වැරැද්ද සොයා බැලීමට රෝහලේ අධ්‍යක්ෂවරයා හෝ ඔහුට වඩා තනතුරෙන් ඉහළින් සිටින අයෙක්වත් මැදිහත් වන්නේ නැත. එයට හේතුව වන්නේ වෛද්‍යවරු සාමාජිකත්වය ගෙන සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඊට බාධා එල්ල වීමය. ඔවුන් කෙතරම් බලවත්ද  කියනවා නම් වෛද්‍යවරයකුගේ දිනපොත පරීක්ෂා කිරීමට පවා ඔවුන්ගෙන් අවසර ලබාගත යුතුය.

එපමණක් නොව, දිනපොතේ සටහන් තබන බොහෝ වෛද්‍යවරුන් එය සිදුකරන්නේ තම නිවසේ සිට හෝ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට බව වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සිටින ඕනෑම අයකු දන්නා කරුණකි. එමෙන්ම, ඉරිදා දිනයේ සේවය නොපැමිණෙන වෛද්‍යවරුන් තමන් සේවයට පැමිණියා යැයි බොරු සටහන් තබන්නටත් අමතක නොකරති. මෙලෙස කිසිදු බයක් හෝ සැකයක් නොමැතිව හිතුමනාපේ ඔවුන් කටයුතු කරන්නේ වෘත්තීය සමිතියෙන් ඔවුන්ට ලැබෙන රැකවරණය නිසා බව රහසක් නොවේ.

සාමාන්‍යයෙන් බාහිර රෝගී අංශයේ සිටින වෛද්‍යවරයකු දිනකට රෝගීන් පනහක් අවම වශයෙන් පරීක්ෂා කරනු ලබයි. නමුත්, සමහර වෛද්‍යවරුන් තමන් අමතර පැය කිහිපයක් වැඩ කළා යැයි පවසා එයත් දිනපොතේ සටහන් කරන්නේය. ඔවුන් මෙලෙස ව්‍යාජ ලෙස ඔවුන්ගේ දිනපොතේ සටහන් තබා පිටව යන්නේ නිවසට නම් නොවේ. එනම්, ඔවුන්ගේ පෞද්ගලික ආරෝග්‍ය ශාලා වෙතය.

කවර හෝ අවස්ථාවක සවස් වරුවක හෝ රෑට හදිසි ලෙඩෙක් රජයේ රෝහලකට රැගෙන පැමිණියහොත් ඔහුට ප්‍රතිකාර කරන්නට විශේෂඥ වෛද්‍යවරු එනතුරා පසුදින උදේ දක්වා බලා සිටිය යුතුය. එයට හේතුව වන්නේ එම රෝගියාට ප්‍රතිකාර කිරීමට විශේෂඥ වෛද්‍යවරයකු සවස හෝ රාත්‍රි කාලයේදී රජයේ රෝහල්වලින් සොයා ගැනීමට අමාරු වන නිසාය. නමුත්, රජයේ රෝහල්වල සවස හෝ රාත්‍රියේ නොමැති වෛද්‍යවරුන් බුරුතු පිටින් සිටින්නේ පෞද්ගලික රෝහල්වලය.

මේ අතර ගමේ රෝහලේ තත්ත්වය මීටත් වඩා දරුණුය. එහිදී, අපට එක්වරම සිහියට ආවේ ගාලු නගරයේ සිට කිලෝමීටර් පනහක දුරින් පිහිටි එක්තරා රෝහලකි. මෙහි රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිටින්නේ වෛද්‍යවරුන් දෙදෙනෙක් පමණි. නමුත්, ඔවුන් දෙදෙනාම එකවර සේවයට පැමිණෙන්නේ නැත. එනම්, එක් අයෙක් රෝගීන් පරීක්ෂා කරන අතර අනෙක් වෛද්‍යවරයා සිටින්නේ කොළඹ පිහිටි ඔහුගේ නිවසේය. විටින් විට ඔහු පෞද්ගලික සායනවලටත් පිවිස එයින්ද යම්කිසි මුදලක් ගන්නා අතර රජයෙන් දෙන වැටුපත් ඊට අමතරව දෙන අතිකාල දීමනාවත් නොවරදවාම ගන්නේය.

ඒත් ගමේ රෝහලේ අසරණ රෝගීහු වෛද්‍යවරුන් නොමැතිව අන්ත අසරණව සිටිති. නමුත්, ඔවුන් වෙනුවෙන් තව වෛද්‍යවරුන් ලබාදීමට හෝ වෛද්‍ය ආචාර ධර්මයන් කඩකරමින් කටයුතු කරන මේ පුද්ගලයන්ට දඬුවම් ලබාදීමට හෝ මහජනතාව වෙනුවෙන් පෙනී සිටීමට හෝ ලංකාවේ වෛද්‍ය සභාවක් නැත. වෛද්‍ය සංගමයක්ද නැත. ඒත්, තම පඩි වැඩිකර ගැනීමට උද්ඝෝෂණ කිරීමට සහ වැඩ වර්ජන කිරීමට නම් ඕනෑ තරම් වෘත්තීය සමිති ඇත.

හර්ෂණී දිසානායක