brand logo

MYBUS.LK යෙදවුම හෙට ජනගත කෙරේ

06 July 2020

ජාතික ගමනාගමන කොමිසම විසින් මගී ප්‍රවාහණ කළමනාකරණ ඇමති මහින්ද අමරවීරගේ උපදෙස් පරිදි සැකසූ MYBUS.lk නම් ජංගම දුරකථන යෙදවුම හෙට (07දා) දින සිට පරිශීලනය සඳහා ජනගත කිරීමට කටයුතු කර තිබේ. බස් රථයක ආරම්භය හා ගමනාන්තය දැක්වෙන වේලාවන්, මගීන් බස් රථයට ගොඩ වෙන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා අයවෙන බස් ගාස්තුව, ගමන් කිරීමට නියමිත බස් රථය ඒ මොහොතේ ඇති ස්ථානය මෙන්ම ප්‍රවාහන සේවාව පිළිබඳව මෙම යෙදවුම හරහාම පැමිණිළි ඉදිරිපත් කිරීමට පහසුකම් සළසා තිබේ. මීට පෙර මෙම ජංගම දුරකථන යෙදවුම සැකසීමේ කටයුතු විශාල මුදලක් ගෙවා පෞද්ගලික සමාගමකට පවරා තිබූ නමුත් එය අසාර්ථක වූ බැවින් ජාතික ගමනාගමන කොමිසමේ කළමනාකරණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරන නුවන් සෙනවිරත්න විසින් මෙම යොමුව නිර්මාණය කරන ලදී. මගී ප්‍රවාහන කටයුතු සඳහා තාක්ෂණය යොදාගැනීම අගය කරන බව පවසන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මෙම යොමුව ඉදිරිපත් කිරීමට පෙර බස් රථ සඳහා කාල සටහනක් සැකසිය යුතු බවද අවධාරණය කර සිටී. මේ වන විට ජාතික ගමනාගමන කොමිසම හාරසිය තිස් ගණනක් වූ දුරගමන් සේවා බස් මාර්ග අතුරින් කාල සටහන් සකසා ඇත්තේ පනහකට පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ශිරන්තනි මානවඩු
 

More News..