brand logo

MCC ගිවිසුම අත්සන් කිරීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් සලකා බැලීම ජනවාරි 31කට කල්යයි

13 November 2019

ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට සූදානම් වන MCC වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් සලකා බැලීම සඳහා ලබන ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත. අද මෙම පෙත්සම් බුවනෙක අලුවිහාරේ, එල්.ටී. බී.දෙහිදෙනිය, එස්.තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිය. නීතිපතිවරයා වෙනුවෙන් එහි පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකාර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත මෙම නඩුවට අදාළ පෙත්සම් පමණක් ලැබී තිබෙන බවය ඒ අනුව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. එහිදී පෙත්සම් ඉදිරිපත් කළ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා සිටියේ මෙය හදිසි කටයුත්තක් සේ සලකා විභාගයට ගත යුතු පෙත්සමක් බවය. මෙම ගිවිසුම් මාලාවට එළඹීමට රජය විසින් ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගිවිසුම් වලට අත්සන් තැබීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා අත්ජි අතර මෙහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ විදේශ කටයුතු ඇමති තිලක් මාරපන ඇතුළු පිරිසක් නම් කර ඇත.
 

More News..