brand logo

IPL ඉසුරු උදානව උස්සයි

28 December 2019

ඉසුරු උදාන කියන්නේ 20/20 ක්‍රීඩකයෙක්ද? නැහැ. මට එක්දින තරග ක්‍රීඩා කිරීමේ හැකියාවත් තියෙනවා. ඒ වුණාට ලෝකේ වටේම තියෙන 20/20 තරග දිහා බැලුවාම, ඉසුරු උදාන ඒවාගේ අනිවාර්ය ක්‍රීඩකයෙක්? ලෝකේ හැම තැනම තියෙන්නේ 20/20 ප්‍රිමියර් ලීග් තරග. එතකොට ඕනෑම ක්‍රීඩකයෙක්ට වැඩියෙන් අවස්ථාව ලැබෙන්නේ ඒ තරගවලදි. ඉතින් මටත් ඒ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මම 20/20 පිටියේ වැඩියෙන් පේන්න ඉන්නවා. එතකොට ටෙස්ට් ක්‍රිකට්? මම හිතන්නේ මගේ දක්ෂතාවට වඩා සුදුසු එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් කියලා. මෑතකදි දකුණු අප්‍රිකාවේ නිමාවුණ 20/20 ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනූ කණ්ඩායමේ ඔබ සාමාජිකයෙක්? ඒක ලොකු අවස්ථාවක්. පළවෙනි වතාවට තමයි දකුණු අප්‍රිකාවේ ප්‍රිමියර් ලීග් තරගාවලියකට සහභාගි වුණේ. දකුණු අප්‍රිකාවේ නායක ඩුප්ලෙසිස්, ඩුමිනි වගේ ක්‍රීඩකයින් අපේ කණ්ඩායමේ හිටියා. ඔවුන් එක්ක ඩ්‍රෙසින් රූම් එකේදි පවා අදහස් හුවමාරුකර ගන්න ලැබීම මට ලොකු අත්දැකීමක් වුණා. වේග පන්දු යවන්නන්ට උචිත දකුණු අප්‍රිකානු තණතීරුවල පන්දු යවන්න ලේසි වෙන්න ඇති? දැන් 20/20 තරග වලදි බොහොමයක් තණතීරු හදන්නේ පිතිකරුවන්ට උචිත විදිහට. දකුණු අප්‍රිකාවේ තණතීරුවල වේගයට වඩා පන්දුව ඉලිප්පීමේ ස්වභාවයක් තිබුණා. ඒකේ වාසිය අරන් මගේ උපරිමය කණ්ඩායමට ලබා දුන්නා. ඒ තරගාවලියේ අවසන් තරගයේදී ප්‍රසිද්ධ මංගල යෝජනාවකුත් ආවා? දකුණු අප්‍රිකාවේ කාන්තාවක් ඇයව විවාහ කරගන්න කියලා බෝඩ් එකක් අල්ලන් හිටියා. මමත් ඒක දැක්කේ ග්‍රවුන්ඩ් එකේ තිබ්බ ස්ක්‍රීන් එකේ ඒක පෙන්නපු නිසයි. මම විවාහකයි. ඉතින් ඒකට ප්‍රතිචාරයක් වශයෙන් මම මුද්ද දාන දකුණු අතේ වෙදැඟිල්ල පෙන්නුවා. දකුණු අප්‍රිකාවේ තරගාවලිය ඉවරවෙනවාත් එක්කම ඉසුරුව අයි.පී.එල්. තරගාවලියට තේරුණා? ලෝකේ තියෙන හොඳම 20/20 ලීග් තරගාවලිය තමයි අයි.පී.එල්. කියන්නේ. මේකට ලෝකේ ඉන්න හොඳම ක්‍රීඩකයෝ එනවා. ඒ නිසා මේ තරගාවලිය මගේ ජීවිතයේ තවත් හොඳ අත්දැකීමක් වෙයි. මීට කලින් 2009 වසරේදී මුම්බායි ඉන්දියන්ස් එක්ක ගිවිසුම් අත්සන් කළා. නමුත් මට යන්න වුණේ නැහැ. කැමතිම අයි.පී.එල්. කණ්ඩායමක් ඇති? මම ඒ කාලේ ඉඳන් කැමති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්. දැන් කැමතිම කණ්ඩායමේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබිලා? ඔව්. ඒ ගැන ගොඩක් සතුටුයි. මෑත කාලේ මගේ කැමතිම ක්‍රීඩකයන්ගෙන් එක්කෙනෙක් ඒ.බී. ඩිවිලියර්ස් කියන්නේ. ඒ වගේම කෝලි එක්කත් ක්‍රීඩා කරන්න ලැබීම විශේෂ අවස්ථාවක්. විදෙස් තරගාවලිවලදී වැඩියෙන්ම හිතවත් වුණ ක්‍රීඩකයෝ ඇති? ගොඩක් ක්‍රීඩකයින් හමුවෙලා තියෙනවා. ඒ අතරින් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ එකට ක්‍රීඩා කරපු ක්‍රිස් ගේල් සහ බ්‍රෙන්ඩන් මැකලම් ගොඩක් හිතවත් වුණා. ඉසුරුගේ ක්‍රිකට් ලොවේ වීරයා? පන්දු යවන්නන්ගෙන් චමින්ද වාස් සහ වසීම් අක්‍රම්, පිතිකරුවන්ගෙන් මම කැමති ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩක ඩේමියන් මාටින්ට. මලල ක්‍රීඩකයෙක් වුණ ඉසුරු උදාන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණේ? මම හොඳටම කළේ මලල ක්‍රීඩා. තුන් පිම්ම සහ දුර පැනීම ඉසව් මම කළා. එතැනින් වයස අවුරුදු 20න් පහළ වෙනකම් මගේ වයස් කාණ්ඩයේ තුන් පිම්ම ඉසව්වෙන් මම පරාද වෙලා තියෙන්නේ එක් අවස්ථාවකදී පමණයි. ඔය අතරේ මම ක්‍රිකට් ගැහුවා. ක්‍රිකට් වලට වියදම් වැඩියි. ඒත් ක්‍රිකට්වලින් යම් ස්ථාවරත්වයක් හදා ගත්තොත් අනාගතයක් තියෙනවා කියලා මට තේරුණා. අන්තිමට මම මලල ක්‍රීඩාවට සමුදීලා දිගටම ක්‍රිකට් ක්‍රිඩා කරන්න ගත්තා. එදා ඒ ගත්ත තීරණය මගේ ජීවිතයේ ගත්ත හොඳම තීරණවලින් එකක්. ක්‍රිකට් ක්‍රීඩකයෝ හරිම කාර්යබහුලයි. පුතා ලැබිලා ඊට පහුවදාම තරගාවලියකට යන්න වුණා නේද? ඔව්. ගිය පෙබරවාරියේ පුතා ලැබිලා හරියටම ඊට පහුවදා මට දකුණු අප්‍රිකාවේ සංචාරයකට යන්න වුණා. දැන් පුතාට මාස 10යි. මගේ කාර්යබහුලත්වයත් එක්ක එයත් එක්ක ගෙවෙන කාලය අඩුයි. ඒ නිසා මේ පාර දකුණු අප්‍රිකාවේ යද්දි පුතාවයි වයිෆ්වයි එක්කගෙන ගියා. බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද? කලින් කිව්ව වගේම මගේ කාර්යබහුලත්වය එයා තේරුම් අරන් ඉන්නේ. එයා තමයි පුතාගේ වැඩයි මගේ වැඩයි සේරම කරන්නේ. බිරිඳ ක්‍රිකට්වලට ආස ඇති? මට එයාව හම්බෙද්දි මම ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියලා එයා දැනගෙන හිටියේ නැහැ. ඇත්තම කියනවානම් එයා ක්‍රිකට් ගැන දැනගෙන හිටියෙත් නැහැ. මම හම්බුණාට පස්සේ තමයි එයා ටිකක් හරි ක්‍රිකට් බලන්න ගත්තේ. ඉසුරුට ෆේස්බුක් ගිණුමක් තියෙනවාද? ඔව්. තරග ජයග්‍රහණය හෝ පරාජය වුණාම නොයෙක් දෑ සමාජ මාධ්‍ය මගින් සංසරණය වෙනවා. ඔබත් ඒවා නිරන්තරයෙන් දකිනවා ඇති? මං ගැනත් ෆේස්බුක් එකේ හොඳ වගේම නරක දේත් පළවෙලා තියෙනවා. අපි කොයිවෙලාවකදිවත් තරග පරාජය වෙන්න කියලා හිතාගෙන තරග වලට යන්නේ නැහැ. අපිටත් ඕනේ හැම මැච් එකම දිනන්න. තරග පරාජය වුණාම පළවෙන ඇතැම් ෆේස්බුක් සටහන් වලින් ගොඩක් හිත රිදෙනවා. ලංකාවේ ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් වලට ආදරෙයි. ඔවුන් කැමති නැහැ පරාජය වෙනවා දකින්න. මොකද ඒක ඔවුන්ට ලොකු වේදනාවක්. ඒ නිසයි ඔවුන් එහෙම කරන්නේ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. ගයාශාන් විතානආරච්චි
 

More News..