brand logo

IMF ණයත් නෑ බෙරේ පළුත් නෑ

16 August 2022

 

IMF වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති ප්‍රධානම කොන්දේසි දෙකක්ම ඉටුකිරීමේදී ශ්‍රී ලංකාව විශාල අවධානමක

IMF විසින් පෙන්වාදෙන සියලුම ණයහිමි රටවල් විසින් ශ්‍රී ලංකාව කෙරෙහි මේ මොහොතේ 'ලිහිල් දැක්මක්' පවත්වාගත යුතුය. දැන් චීනය අල්ලා ඇත්තේ එම නිලයෙනි

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සැලකියයුතු චංචලභාවයක් පැවැති, ගෙවීගිය මාස 07ක කාලයේදී ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සුවිශේෂී සහායක්

මාස තුනක් ඇතුළත ආණ්ඩුව තුනක් වෙනස් වී විශාල දේශපාලන රික්තයක් ඇති වූ රටේ අස්ථාවර තත්ත්වය නිසා IMF සාකච්ඡා සැලකිය යුතු ලෙස මන්දගාමීවී වෙලා

  විදේශ විනිමය හිඟය හේතුවෙන් නිදහසින් පසු ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකට මේ වන විට මුහුණ දෙමින් සිටී. විදේශ විනිමය හිඟයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන, ගෑස්, අත්‍යවශ්‍ය භාණ්ඩ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක සැපයුමේ හිඟයක් ඇති වී තිබෙන අතර, පසුගිය මාස කිහිපය තුළ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් විශාල ලෙස (පසුගිය මාසය වන විට 100% දක්වාම) ඉහළ ගොස් තිබේ. පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමේ පියවරක් ලෙස, ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේ වැඩසටහනක් සැලසුම් කිරීමේදී සහ හදිසි මූල්‍ය ආධාර සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් (IMF) සහය ලබා ගැනීම සඳහා රජය උපරිමයෙන් උත්සාහකරමින් සිටින අතර, මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූල වන පරිදි එම බැඳීම් විධිමත්ව සහ එකඟතාවයෙන් යුතුව ණයහිමියන් සමග ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකිරීම සඳහා, 2022 අප්‍රේල් 12 සිට ආරම්භ වන අතුරු කාලසීමාවක් සඳහා ද්විපාර්ශ්වික සහ වාණිජ ණය හිමියන්ගේ සේවා බාහිර ණය තාවකාලිකව අත්හිටුවීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

ජනාධිපතිවරයා කියන දේ....

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය අතිශයින්ම අසීරු අඩියක පවතින බවත්, IMF සහායෙන් තොරව ආර්ථිකයට ඉදිරියට යාමට නොහැකි බවත් රජය විසින්ද මේ වන විට ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන ඇති අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ IMF ණය වැඩසටහන යථාර්ථයක් බවට පත්කරගැනීම වෙනුවෙන් විශාල වෙහෙසක් ගනිමින් සිටින බව හැසිරීමෙන් ප්‍රදර්ශනය කරමින් සිටී. මීට සතියකට පෙර 'ඇඩ්වොකාටා' ආයතනය කොළඹදී සංවිධානය කරතිබූ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කරන ලද්දේ, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් විකල්ප වැඩසටහන් නොමැතිනම්, IMF වැඩසටහනට සහයෝගය ලබාදීම සඳහා රජය සමග එක්ව කටයුතු කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල වගකීම බවයි. මේ අතර IMF වැඩසටහනේ තීරණාත්මකභාවය පසුගිය දිනෙක ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින්ද පෙන්වාදී තිබිණි. රටේ විදේශ සංචිත කිසිසේත්ම ප්‍රශස්ත මට්ටමක නොපතින බැවින්, ශ්‍රී ලංකාවේ එකම බලාපොරොත්තුව මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන බව ආචාර්ය වීරසිංහ Colombo Club සංවිධානය කළ සාකච්ඡාවකදී අදහස් දක්වමින් පැවසීය. මෙම වසර අවසානයේදී බලාපොරොත්තු වන IMF පහසුකම පිළිබඳව තමාට දැඩි විශ්වාසයක් පවතින බව ප්‍රකාශ කළ ඔහු කියා සිටියේ, මාස තුනක් ඇතුළත ආණ්ඩු තුනක් වෙනස් වී විශාල දේශපාලන රික්තයක් ඇති වූ රටේ අස්ථාවර තත්ත්වය හේතුවෙන් මෙම සාකච්ඡා සැලකිය යුතු ලෙස මන්දගාමීවී ඇති වූ බවයි.

රටේ මූල්‍ය හැකියාව

මෙලෙස රටේ මූල්‍ය තත්ත්වය ඉතාමත් අයහපත් බැවින් මේ වන විට ගනුදෙනු සිදුවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ මැදිහත්වීමකින් තොරව, පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් පමණක් බව රටේ බොහෝ පිරිසකගේ අදහසයි. පෞද්ගලික සාමගම්වලට සහ වෙළඳුන්ට අනුව රටේ මිල තීරණය වන පරිසරයක එම අදහසට ශක්තිමත් පදනමක් ඇතත්, තවමත් ඉහත පාර්ශ්ව දෙක රටේ මූල්‍ය කටයුතුවලට සැලකිවයුතු ලෙස මැදිහත් වෙමින් සිටින බව මුදල් අමාත්‍යංශ වාර්තා අනාවරණය කරයි. ඉන් අදහස් වන්නේ තවමත් රටට යම් යම් ප්‍රමාණවලින් මුදල් ලැබෙමින් තිබෙන අතර මහ බැංකුව සහ රජය විසින් එම මුදල් විශාල පාලනයක් සහිතව යම් යම් අවශ්‍යතා වෙනුවෙන් බෙදාහරිමින් සිටින බවය. මෙහි අපගේ ප්‍රධාන මාතෘකාව IMF ණය වැඩසටහන වුවත්, IMF වෙත යන ගමනේදී රටේ සැබෑ මූල්‍ය හැකියාව පිළිබඳවද යම් අදහසක් තිබීම වැදගත්වේ. ඒ අනුව, වත්මන් අර්බුදය මෙම තත්ත්වයට උත්සන්න වෙමින් පැවැති මෙම වසරේ ජනවාරි-අප්‍රේල් කාර්තුවේදී පමණක් ඉහළ ප්‍රමුඛතා සහිත ව්‍යාපෘති සඳහා අරමුදල් සැපැයීම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වැනි මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 968.8ක විදේශ විනිමය ප්‍රමාණයක් මුදල් අමාත්‍යාංශය හරහා නිකුත් කර ඇත. මුදල් අමාත්‍යාංශය විසින් මෙලෙස පාර්ශ්වයන් වෙත සිදුකර ඇති බෙදා හැරීම්වලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාව සමඟ අත්සන් කරන ලද ණය ගිවිසුම් වලින් ලැබී ඇති අතර එය 39% කට ආසන්න වේ. ඉන්පසුව පසුව ආසියානු සංවර්ධන බැංකුව (ADB) 37% සහ චීනය 7%ක් වශයෙන් ලබාදුන් මුදල් වලින් භාණ්ඩාගාරය ණය සහ ප්‍රදාන සිදුකර ඇත. මෙහිදී පැහැදිලි වන්නේ වසරේ ආරම්භක කාර්තුවේදීද රට ගමන්කර ඇත්තේ බහුතරයක් වන ඉන්දීය ණය සහ ආධාර මතින් වන බවයි.

ණය ශේෂපත්‍රය

මේ අතර 2022 අපේ‍්‍රල් 30 වන විට, ඉදිරි වසර තුනේ සිට පහ දක්වා කාලය තුළ භාවිත කිරීමට හැකියාව ඇති, දැනටමත් ලබාදීමට එකඟතාව පළකර ඇති ණයවලින් ලබා ගත හැකි ඩොලර් මිලියන 8,054.3 ක සම්පූර්ණ නොගෙවූ ශේෂයක් ශ්‍රී ලංකාව සතුව ඇත. එම නොගෙවූ ශේෂයන් අතරින්ද වැඩිම කොටස ඉන්දියාව සතු වන අතර, ඉතිරිය පිළිවෙලින් ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, චීනය සහ ජපාන සතුව ඇත. ඒ අනුව පැහැදිලිවම පෙනීයන්නේ මෙම සියලුම පාර්ශ්වයන් වෙත රටේ ඉදිරි නිශ්චිත ආර්ථික සහ දේශපාලන වැඩපිළිවෙළක් පවතින බව සහතික කිරීම තුළින් ඉදිරි වසර 05ක කාලයේදී රටට අවම වශයෙන් ඩොලර් බිලියන 08කට අධික සංවර්ධන මූල්‍යාධාර ලැබීමට නියමිත බවයි. විශේෂයෙන්ම තවදුරටත් මෙරටට පවතින චීන මැදිහත්වීම සමග පටළවා නොගන්නේ නම්, අනිවාර්යයෙන්ම ඉන්දීය සහ ජපාන මූල්‍යාධාර මෙරටට ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය (කෙසේවෙතත් චීන බලපෑම් මත පසුගිය වකවානුවේ අවලංගු කෙරුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හේතුවෙන් ජපානය මේ වන විටත් ජයිකා ආධාර යටතේ මෙරට ආරම්භ කර තිබුණු ප්‍රධානපෙළේ ව්‍යාපෘති 12ක්ම තාවකාලිකව අවලංගු කර ඇත). මීට අමතරව, ජනවාරි සිට අප්‍රේල් දක්වා ඉන්දියානු එක්සිම් බැංකුව සහ රජය අතර අත්සන් තැබුණු ගිවිසුම්වලට අනුව ඩොලර් මිලියන 1500ක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාවූ ආනයන ණය පහසුකම් ලබාදී ඇති අතර (මෙම වසර ආරම්භයේ සිට ඉන්දියාවෙන් ලබාදී ඇති මෙම ණය පහසුකම් ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන 04කට ආසන්න වේ), කුවේටයෙන් ඩොලර් මිලියන 32.9 ක් ද, ජර්මනියෙන් ඩොලර් මිලියන 17.6 ක්ද මෙරටට ලැබී ඇත. (කෙසේවෙතත් IMF වැඩසටහන ආරම්භ කරනතෙක් තවදුරටත් සිය මූල්‍ය සහායන් ලබාදීම ප්‍රමාද කරන බව ලෝක බැංකුව ප්‍රකාශ කර ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුව සහ චීනය මෙතෙක් මෙම වසරේ කිසිදු නව මූල්‍ය පහසුකමක් මෙරටට ලබාදී නැත)

ඉන්දියානු ප්‍රතිචාරය

මුදල් අමාත්‍යංශ වාර්තාවලට අනුව සිය අබලන් ආර්ථිකයට ඉදිරියට යෑම සඳහා විදේශ ආධාර වෙනුවෙන් ශ්‍රී ලංකාව කළ මංමුළා සහගත ඉල්ලීම්වලට මෙම වසරේ ප්‍රථමයෙන් ප්‍රතිචාර දැක්වූයේ ඉන්දියාවයි. ඒ අනුව ඉන්දියාව පසුගිය මාස කිහිපය තුළ ආර්ථික සහ විදේශ විනිමය ආධාර, මානුෂීය ආධාර සහ සමුද්‍රීය ආධාර යන ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ ශ්‍රී ලංකාවට ආධාර ලබාදී ඇත. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව, ඉන්දියාව ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඉන්දීය සංචිත බැංකුව තර ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරුවකට අත්සන් තබා ඇත. එසේම ඩොලර් මිලියන 500ක ඉන්ධන වෙනුවෙන්වූ ණය පහසුකමක්ද, ආහාර, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මාර්තු මාසයේදී ඩොලර් බිලියන 01 ක සහන ණය පහසුකමක්ද ලබාදී ඇති අතර, ආසියානු නිෂ්කාශන සංගමයේ යාන්ත්‍රණය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාගෙන ඇති ඩොලර් බිලියන 1.8ක ණය පහසුකමක් ආපසු ගෙවීමට ලබාදී ඇති කාලය තවදුරටත් කල්දැමීමටද ඉන්දියාව පියවර ගෙන ඇත.

වෙළඳ හිඟයට එරෙහි සහයෝගය

සංචාරක ව්‍යාපාරය සහ සේවක ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන මූලාශ්‍ර දෙකයි. කොවිඩ් වසංගතයෙන් සංචාරක ව්‍යාපාරයට දැඩි ලෙස බලපෑ අතර එම නිසා, ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ඉපැයීමේ ප්‍රධාන කොටස බවට පත්ව ඇති අතර එය පුළුල් වන වෙළඳ හිඟයට එරෙහිව සැලකිය යුතු සහයෝගයක් සපයමින් සිටී. කෙසේවෙතත් 2018-2022 ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ණය පාලනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ සඳහන් වන පරිදි, 2020 දී ඩොලර් මිලියන 7,103.93 ක් වූ විදේශ සේවා සේවකයන්ගේ ප්‍රේෂණ 2021 දී ඩොලර් මිලියන 5,491.46 දක්වා පහත වැටී ඇත. එසේම 2021 පෙබරවාරි සිට 2021 අගෝස්තු දක්වා මාස හතක කාලය සඳහා ලැබුණු ඩොලර් මිලියන 3,548.9 ක මුදලට සාපේක්ෂව 2021 සැප්තැම්බර් සිට 2022 මාර්තු දක්වා මාස හතක කාලය සඳහා ලැබී ඇත්තේ ඩොලර් මිලියන 2,049.7 ක් පමණක් බව නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව මේ වසර ආරම්භයේ සිට ආර්ථිකය විශාල ලෙස කඩාවැටෙමින් පැවතියද, මහ බැංකු වාර්තාවන්ට අනුව තවදුරටත් රට දෙසට පවතින ලැබීම් මුළුමනින්ම නැවතී නැත. යම් ප්‍රමාණයක සංචාරක ඉපැයීම්, වෙනත් වසරවල ලැබුණු විදේශ ප්‍රේෂණවලින් 50%ක් පමණ සහ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායමද (මාසිකව ඩොලර් බිලියනය ඉක්මවූ) මේ වන විටත් ශ්‍රී ලංකාව ලබමින් සිටී. විශේෂිතම කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සැලකියයුතු චංචලභාවයක් පැවැති, ගෙවීගිය මාස 07ක කාලයේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට සුවිශේෂී සහායක් ලබාදී තිබීමයි.

IMF වැඩසටහන ක්‍රමයෙන් රටින් දුරස්වෙමින්...

ශ්‍රී ලංකාව දැන් IMF වැඩසටහනක් වෙනුවෙන් බලාපොරොත්තුවෙන් පසුවන්නේ රට තුළ මෙවැනි මූල්‍ය පරිසරයක් පවතිද්දීය. එනම්, අවදානමක් පවතින නමුත්, උපරිමයේ පවතින අපනයන ආදායමක්, 50%කින් තවමත් ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක්, 15%ක පමණ සංචාරක ආදායමක්, සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් පොරොන්දු සහිත සැලකියයුතු මූල්‍යාධාර කොටසක් සහ උපකාර කිරීමට තවමත් ඉදිරිපත්වන ඉන්දියාව ඇතුළු අන්තර්ජාතික ප්‍රජාවේ සැලකිවයුතු කොටසක්, යන වත්කම් තවමත් ශ්‍රී ලංකාව සතුව පවතී. කෙසේවෙතත් ගෙවුණු සතියක කාලය දෙස ආපසු හරි බැලීමේදී පෙනීයන්නේ, ක්‍රමයෙන් හැකිළෙමින් පවතින පෙර කී මූල්‍ය තත්ත්වයන් සහ පාර්ශ්වයන්වල සහායන් මධ්‍යයේ රටට අත්‍යවශ්‍ය IMF වැඩසටහන ක්‍රමයෙන් රටින් දුරස්වෙමින් පවතින තත්ත්වයකි. නැතිනම් IMF සහාය අහිමිවීමේ අවදානමකි.

නොසිතූ මොහොතක මතුවූ චීන නැව!

ඊට බලපෑ ප්‍රධාන හේතු කිහිපයක් වූ අතර, ඒ අතුරින්ද ප්‍රධාන වන්නේ ආන්දෝලනාත්මක චීන නෞකාව සම්බන්ධයෙන් උද්ගත වූ රාජ්‍යතාන්ත්‍රික අර්බුදය IMF වැඩසටහන දක්වාම දුරදිග යෑමයි. ඇත්තෙන්ම, චීනයට යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට නැව්ගත කිරීමට ඉඩදීමට එරෙහිව ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිරෝධය හමුවේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය පැකේජයක් සඳහා වන මෙරට උත්සාහයන් නවතා දැමිය හැකිද? පිළිතුර වන්නේ 'ඔව්' යන්නයි. චීන නෞකාවට වරායට ඇතුළුවීමට අවසානයේ ඉඩලබා දුන්නද, එම අර්බුදය පදනම් කරගෙන ඉදිරියේදී තමන්ට සිදුවූ මදිපුංචිකම වෙනුවෙන්, අවශ්‍ය නම් ශ්‍රී ලංකාවට රිදවා, ඒ ඔස්සේ ඉන්දියාවට මෙන්ම එක්සත් ජනපදය සහ බටහිර ප්‍රතිපාක්ෂිකයන්ට රිදවීමේ පහසු අවස්ථාව දැන් චීනයට උදාවී ඇත. පසුගිය සිකුරාදා, නෞකාවට අවශ්‍ය අවසරය ලබාගැනීම වෙනුවෙන් IMF වැඩසටහන ඉදිරියට ගනිමින්, චීනය විසින් ශ්‍රී ලංකාව බිත්තියටම හේත්තු කිරීම ඔස්සේ ඒ බව හොඳින්ම දැකගත හැකිවිය. ශ්‍රී ලංකාවට ණය ලබාදීමේ පැකේජය ක්‍රියාත්මක වීමට නම්, එයට පළමුව IMFහි ශ්‍රී ලංකා ණය තිරසාර තක්සේරු (DSA) වාර්තාවේ සිටින ප්‍රධාන ණය හිමියන්ගේ අනුමැතිය අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය අනුව මෙම වාර්තාව ශ්‍රී ලංකාවට බෙහෙවින් අහිතකර බව අමුතුවෙන් කිව යුතු නැත. එබැවින් අනිවාර්යයෙන්ම IMF විසින් පෙන්වාදෙන සියලුම ණයහිමි රටවල් විසින් ශ්‍රී ලංකාව කෙරෙහි මේ මොහොතේ 'ලිහිල් දැක්මක්' පවත්වාගත යුතුය. දැන් චීනය අල්ලා ඇත්තේ එම නිලයෙනි. මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 115% කි. සාමාන්‍යයෙන්, ලෝක බැංකුව සහ IMF අනුව, ලොව දුප්පත් රටවලට පවා මෙම අගය 60-65% නොඉක්මවිය යුතුය. ශ්‍රී ලංකාවේ ණය සංයුතියෙන් 40% කට වඩා බාහිර ණය වන අතර, එය කාණ්ඩ හතරක් යටතේ පවතින බව දැකගත හැකිය. එනම්, බහුපාර්ශ්වික ණය, පෞද්ගලික වාණිජ ණය, චීනය හා වෙනත් ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ ණය සහ 'පැරිස් ක්ලබ්' සන්ධානයට අයත් රටවල ණය වශයෙනි. IMF පැකේජයේදී මෙම පාර්ශ්ව සහ රටවල් බොහොමයකට ඔවුන්ගේ සමහර ණය කපා හැරීමට හෝ ප්‍රමාද කිරීමට, සමහරවිට ඔවුන්ගේ ගෙවීම් කාලසටහන් ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකාවට ප්‍රධාන ණය දෙන්නන් අතර චීනය ඉදිරියෙන් සිටින අතර, ඉන්දියාව ද 'පැරිස් නොවන සමාජ කාණ්ඩයේ' ප්‍රධාන ණය දෙන්නකු බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. මෙහිදී සැලකිල්ලට ගතයුතු කරුණ නම්, මෙම නෞකාවේ අර්බුදය පදනම් කරගනිමින් මෙම ක්‍රියාවලිය දිගු කලක් රඳවා තබා ගැනීමටත්, එය ඇදගෙන යෑමටත් චීනයට හැකි බවයි. විශේෂයෙන් මෙම සිදුවීම පාදක කරගනිමින් සිය ප්‍රතිපාක්ෂිකයන්ට පහරදීමට චීනයට පවතින හැකියාවයි. එමඟින් ශ්‍රී ලංකාවේ පිරිහෙමින් පවතින ආර්ථික අවපාතය තවදුරටත් දිගු කරනු ලබන බව අමුතුවෙන් කිවයුතු නැත. තාක්‍ෂණිකව ගත්විට ඉන්දියාව ද සිය කැමැත්තෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය අත්හිටුවිය හැකි ණයහිමියන් අතර සිටින අතර, මෙම 'යුවාන් වැන්ග්' අර්බුදයේදී, චීන නැවට වරායට ඇතුළු වීමට ශ්‍රී ලංකාව ඉඩ ලබාදීම ඔස්සේ, සිය කීම තැකීමකට ලක්නොකළැයි කියමින්, ඉන්දියාවටද IMF ක්‍රියාවලියට බාධා කළ හැකිය. නමුත් නවදිල්ලියේ මේ දක්වා ක්‍රියාකලාපය පිළිබඳව සලකා බැලීමේදී, ඉන්දියාව ප්‍රතිවිරුද්ධ දිශාවට නොයනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ.

සර්ව පාක්ෂික ආණ්ඩුව

IMF වැඩසටහන අර්බුදයට ලක්කරන අනෙක් ගැටලුව බවට පත්ව ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවයි. IMF ණය පහසුකමක් ලබා ගැනීමට නම්, අදාළ ණය වැඩසටහන සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල අනුමැතිය අවශ්‍ය බවට වන කොන්දේසියක් මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා රජයට පනවා තිබේ. IMF වෙතින් ලබා දෙන ණය මුදල ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍ය වන බැවින් මෙම කොන්දේසිය පනවා තිබෙන අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික එකඟකත්වකින් යුතු ආණ්ඩුවක් හෝ වැඩසටහනක් නිර්මාණය කිරීම සඳහා මේ දිනවල පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාන පක්ෂ සහ කණ්ඩායම් සමග කඩිනම් සාකච්ඡා පවත්වමින් සිටින්නේ අදාළ IMFකොන්දේසිය අනුවය. එහෙත් 'අරුණ' ඊයේ වාර්තා කළ ආකාරයට දැන් මෙම සර්ව පාක්ෂික ආණ්ඩු උත්සාහය කැඳ හැලියක් බවට පත්ව ඇත. ඊට සම්බන්ධවන සියලුම පාර්ශ්වවලට ඇමැතිකම් අවශ්‍ය බැවින්, IMF ප්‍රමුඛ අන්තර්ජාතික ප්‍රජාව අපේක්ෂා කරන ආකාරයේ ස්ථාවරයක් සහිත, විශ්වසනීය සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය වනු ඇතැයි පැවැති අපේක්ෂා දැන් ගිලිහී ඇත. මේ නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවට සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දැන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ. එහෙත් ඊට IMF වෙතින් පලවන එකඟතාව පිළිබඳව තක්සේරුවක් ලබාදිය නොහැකිය. ඒ අනුව බලන විට, IMF වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති ප්‍රධානම කොන්දේසි දෙකක්ම ඉටුකිරීමේදී ශ්‍රී ලංකාව විශාල අවදානමකට මුහුණදී සිටියි. ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවන් වූ 'චීනයේ වචනය' මෙන්ම 'සර්ව පාක්ෂික ආණ්ඩුවද' ඇත්තේ බාලගිරි දෝෂයට හසුවීය. එහෙත් රට පාර්ශ්වයෙන් ගත්කළ, රටේ 'IMF සූදානම' හේතුවෙන් රටවැසියන් බරපතළ අසීරුතා රැසකට මුහුණදෙමින් සිටීමයි. මේ වන විට බැංකු පොලී ඉහළ දමා ණයක් ලබාගත නොහැකිව ඇත්තේ, පොහොර ඇතුළුව සියලුම සහනාධාර ව්‍යාපෘති කප්පාදුවට ලක්ව ඇත්තේ, රාජ්‍ය සේවය සීමා කිරීමට පියවර ගනිමින් රාජ්‍ය සේවකයන්ට සිය අනාගතය පිළිබඳ විශ්වාසය අහිමිකර ඇත්තේ සහ ඇතැම් පාර්ශ්ව පෙන්වාදෙන ආකාරයට රට තුල කෘත්‍රිම උද්ධමනයක් සකස් කර ජනතාවට දරාගත නොහැකි බඩු මිලක් නිර්මාණය කර ඇත්තේ IMF නිර්දේශයන්ට අනුවය. එසේනම් පාලකයන්ගේ නොහැකියාවන් හේතුවෙන් දිනෙන් දින ප්‍රමාදවන IMF ණය පහසුකම වෙනුවෙන් ජනතාව තවත් කොපමණ කලක් බලාසිටිය යුතුද? බඳ පටියේ තවත් හිල් කීයක් විදගත යුතුද? සකස්කරන ආණ්ඩුවක් කඩිනමින් සකස්කර, ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් එම ගැටලුවට පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතුය. නයන තරංග ගමගේ
 

More News..