Uncategorized

HDFC බැංකුවේ නව සභාපතිනිය වැඩ භාරගනී

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ (HDFC බැංකුවේ) නව සභාපතිනි වසන්ති මංචනායක මහත්මිය සිය ධුරයේ වැඩ භාර ගැනීම පසුගියදා කොළඹ පිහිටි එච්ඩීඑෆ්සී බැංකු මූලස්ථානයේදී සිදුවිය.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ වසන්ති මංචනායක මහත්මිය එච්ඩීඑෆ්සී බැංකුවේ සභාපතිවරිය ලෙස සුබ මොහොතින් වැඩ භාරගත් අයුරුයි. මේ අවස්ථාවට එම බැංකුවේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරි පාලිත ගමගේ මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි එම්.කේ. නම්බියාරූරන් මහතා ප්‍රමුඛ උසස් නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

හිටපු දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් නීතිඥ වසන්ති මංචනායක මහත්මිය මතුගම ආනන්ද ශාස්ත්‍රාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයන්හි පාසල් අධ්‍යාපනය ලබාගැනීමෙන් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිය යටතේ කර්මාන්ත පරිපාලනය පිළිබඳ පන්ති සාමාර්ථයක් 1983 වසරේදී ලබාගන්නා ලදී. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පසු ශ්‍රී ලංකා කාර්මික විද්‍යාලයෙන් විදේශ භාෂා ඩිප්ලෝමාවද, ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමාව ද සමත්ව ඇත. ඒ අතර ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීති උපාධිය සමත් වන අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් උසස් වෘත්තීය ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් ද හිමිකර ගනී. අනතුරුව ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනය මගින් තොරතුරු තක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබාගන්නා ලදී.