brand logo

GPS තාක්ෂනය යොදා ගනිමින් නිවාස හා වෙළදසැල් මංකොල්ල කෑ දෙදෙනෙකු අත්අඩංගුවට

29 December 2019

අන්තර්ජාල ජී පී එස් තාක්ෂනය උපයෝගී කරගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සුකොපභෝගී නිවාස හා වෙළදසැල් රාත්‍රී කාලයේදී මංකොල්ල කෑමේ නිරත වූ සංවිධානාත්මක කණ්ඩායමක සැකකරුවන් දෙදෙනෙක් සහ සොරාගන්නා ලද භාණ්ඩ හා උපකරණ යම් කොටසක් පොලිස් භාරයට ගැනීමට පෙරේදා 27 පස්වරුවේ අම්බලන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීහු සමත්වූහ. සූරියවැව පොලිස් වසමේ සිදු වූ සොරකම් දෙකක් සම්බන්දයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව තංගල්ල කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුමාගේ නියෝග පරිදි පොලිස් නිලධාරී කණ්ඩායම් 04ක් ඔස්සේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබිණි.ඒ අනුව ක්‍රියාත්මක වූ අම්බලන්තොට පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායම පැමිණිලි කරුවන්ගේ තොරතුරු මත නගරාශ්‍රිත ආරක්‍ෂිත කැමරා පද්දති පරීක්ෂා කිරීමෙන් අනතුරුව සක් සහිත මෝටර් රථයක් සම්බන්දයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථයේ හිමිකරුගේ තොරතුරු මත එම මෝටර් රථය කුලී පදනම මත පිරිසකට ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන් තිබිණි.කුලී පදනම මත මෝටර් රථය ලබාගත් අය පිලිබදව සොයාබැලීමේදී ඔවුන් මෙම මෝටර් රථය උපයෝගී කරගෙන අන්තර්ජාල තාක්ෂනය හරහා දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පවතින දෙමහල් ගොඩනැගිලි පිලිබදව සොයාබලා රාත්‍රී කාලයේදී එම නිවාස වලට ඇතුළු වී ආයුධ පෙන්වා නිවැසියන් බියවද්දා මුදල් හා දේපල කොල්ලකෑමේ ජාවාරමක නිරතවන පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය කරගෙන තිබිණි. ඒ අනුව දින කිහිපයක පරීක්ෂණ වලින් අනතුරුව අම්බලන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් සිද්දියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ පස්වරුවේ මෙහෙයුමක් දියත් කළහ.ඒ අනුව ඊයේ පස්වරුවේදී නිලධාරීන් සොරකම් කිරීම සදහා යොදාගන්නා මෝටර් රථය ,යතුරු පැදියක් හා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙතෙක් කාලයක් සොරාගන්නා ලද භාණ්ඩ හා උපකරණ වලින් කොටසක් නිලධාරීන්ට සොයාගැනීමට හැකි වී තිබේ. සොරාගන්නා ලද භාණ්ඩ අතර තණකොළ කපන මැෂින් යන්ත්‍ර 2ක් ටයිල් කපන මැෂිමක් ,ආයුධ කට්ටල ,ජංගම දුරකථන කිහිපයක් ,ඩී වී ඩී යන්ත්‍ර 3 ක් හා තවත් ගෘහ උපකරණ ,කෘෂි උපකරණ හා කාර්මික උපකරණ තිබිණි.අත්අඩංගුවට ගත සැකකරුවන් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ත් 35 ත් අතර පසුවන පුද්ගලයන් බව පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සූරිය වැව ප්‍රදේශයේදී සොරාගන්නා ලද භාණ්ඩ සමග සූරියවැව පොලිස් ස්ථානයට භාරදීමට කටයුතු කර ඇති අතර දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිටින මෙම සංවිධානාත්මක කණ්ඩායමේ අනෙකුත් සැකකරුවන් සොයා අම්බලන්තොට පොලීසිය වැඩි දුර පරීක්ෂණ ආරම්භකර ඇත. මෙම මෙහෙයුම අම්බලන්තොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් විජයගුණවර්ධන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ ,පොලිස් සැරයන් 29961සේනාරත්න ,පොලිස් කොස්තාපල් 34885 ප්‍රියන්ත ,92708 අශාන් හා 92731සිල්වා යන මහත්වරුන් විසින් සිදුකර ඇත. අම්බලන්තොට - පුෂ්පකුමාර
 

More News..