කතුවැකි

GMOA හොරි ආණ්ඩුවෙන් කැසීම හෙවත් සෞඛ්‍ය වර්ජන

හෙද ඉල්ලීම් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කිරීමත් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් වෘත්තීන් ගණනක් වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටිති. පරිපූරක වෛද්‍ය සේවය පසුගිය සෙනසුරාදා වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර අතුරු වෛද්‍ය සේවා අද සිට වර්ජනයක් අරඹන බව දැනුම් දී තිබේ. මේ අතර ජනාධිපතිවරයා එකඟ වී ඇති ආකාරයට හෙද ඉල්ලීම් ලබා දීමට පියවර ගත හොත් තමන්ද වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද තර්ජනය කර තිබේ. මේ ආකාරයට බලන විට පෙනී යන්නේ හෙට අනිද්දාට කොවිඩ් ආසාදිතයන්ටත්, අනෙකුත් රෝගීන්ටත් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇත්තේ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල, රියැදුරන් හා කම්කරුවන්ගෙන්ය. වර්ජනය කරන බව කියා නැත්තේ ඔවුන් පමණය. ඔවුන්ද කොයි මොහොතේ වර්ජන තීරණයකට යනු ඇත්දැයි කිව නොහැකිය.

ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් හෙද හෙදියෝ මේ මස 01 දා හා 02 දා වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වූහ. මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ විශේෂත්වය වූයේ වෙනදාට පස මිතුරු සියලුම හෙද වෘත්තීය සමිති එක්ව එය සංවිධාන කිරීමය. හෙද සරසවිය ආරම්භ කිරීම, රාජකාරි කාලය දින පහකට සීමා කිරීම, උසස් වීම් පටිපාටිය සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් පහක් වහාම ලබාදීමටත්, වැටුප් හා දීමනා සංශෝධනවලට අදාළ ඉල්ලීම් දෙක මීළඟ අයවැයෙන් ලබා දෙන බවටත් ජනපතිවරයා හෙද වෘත්තිය සංගම්වලට ලිඛිතව පොරොන්දු වී තිබේ.

කෙසේ වෙතත් අතුරු වෛද්‍ය සේවා හා පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් පවසන්නේ මෙම තීරණය නිසා තමන්ට අසාධාරණයක් සිදුවන බවය. හෙද, අතුරු හා පරිපූරක වෛද්‍ය සේවා සැලකෙන්නේ සමාන්තර සේවා ලෙසය. මේ නිසා මේ අතුරින් එක් සේවයකට හෝ බලපාන කිසියම් තීරණයක් ගැනීමේදි එය අනෙකුත් සේවා දෙකටද අදාළ විය යුතුය. වසර 2006 සිට මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කර තිබේ.

මේ අනුව බලන විට පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන් වැඩවර්ජනයට එළැඹීමට ගෙන ඇති තීරණයේ යුක්ති යුක්ත බවක් තිබේ. එහෙත් හෙද හෙදියන් වර්ජනය කරන විට හෝ ඔවුන්ගේ කිසියම් ඉල්ලීමක් ලබා දෙන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම්වලට කඩි කුලප්පුවක් හැදෙන්නේ කුමක් නිසාද?

ඕනෑම වෘත්තියකට තම වෘත්තීය අයිතීන් දිනා ගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ශුද්ධ වූ අයිතියක් තිබේ. එහෙත් සෞඛ්‍ය සේවයේ කුමන වෘත්තියක නිරත අයකු හෝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය යුත්තේ වරක් දෙවරක් නොව කිහිප වරක්ම කල්පනා කිරීමෙන් අනතුරුව අවසන් විකල්පය ලෙසය. ඔවුන් සේවා සපයන්නේ රෝගීන්ට නිසාය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙද හෙදියන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට විරෝධය දක්වන්නේ ඉහත පදනමින් නම් අපිද ඔවුන් සමග එකඟය. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කිසිම දිනයක රෝගීන් අසීරුතාවට පත් වන්නේය යන පදනමින් හෙද හෙදියන්ගේ හෝ වෙනත් සෞඛ්‍ය වෘත්තියක වැඩවර්ජනයකට හෝ වෙනත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට විරුද්ධ විය නොහැකිය. ඔවුන්ද තම ඉල්ලීම් ලබා ගන්නට රෝගීහු ප්‍රාණ ඇපයට තබා ගැනීම තවමත් කරමින් සිටින නිසාය. එහිදී ඔවුන් කටයුතු කරන්නේ සියලු දේ ලැබිය යුත්තේ සියලු ගරු සැලකිලි ලැබිය යුත්තේද වෛද්‍යවරුන්ට පමණක් යන පදනමිනි.

රටේ වසංගත තත්ත්වයක්ද පවතින අවස්ථාවක සමස්ත සෞඛ්‍ය සේවයම වර්ජන ක්‍රියාමාර්ගයකට යොමු වී සිටින්නේද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ තමන් පමණක් කෑම නිසා බව පැහැදිලිය. ප්‍රශ්නය ඇත්තේ ඔවුන් එවැනි ගෝත්‍රික කල්පනාවකින් කටයුතු කිරීම නොව සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආණ්ඩුවද ඔවුන්ගේ පදයට නැටීමය.

පසුගිය වසරේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වන්නට පටන් ගන්නා විටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම ප්‍රතිකාර සේවා වෙනුවෙන් අමතර දීමනාවක් ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවේ මහජන විරෝධය නිසා එම ඉල්ලීම යටපත් වී ගියත් මේ වන විට ඔවුන්ගේ එම ඉල්ලීම ඉටු වී තිබේ. වෛද්‍යවරුන්ගේ අමතර දීමනා වැඩි කරන්නට පියවර ගත් නමුත් සෞඛ්‍ය සේවයේ අනෙකුත් සේවාවන්ට එවැනි දීමනාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේ නැත. පසුව හෙද හෙදියන්ගේ ඉල්ලීම මත ඔවුන්ට එවැනි දීමනාවක් ලබා දෙන්නට තීරණය කළ නමුත් තවදුරටත් අනෙකුත් සෞඛ්‍ය සේවාවන්ට අමතර දීමනාවක් හිමිවන්නේ නැත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හොර රහසේම තම සාමාජිකත්වයේ ඥාතීන්ට කොවිඩ් එන්නත ලබා ගත්තේ පොලිස් නිලධාරීන්, ග්‍රාම සේවා හා සමෘද්ධි නිලධාරීන් වැනි මහජනතාව සමග සෘජුව කටයුතු කරන සේවාවන්ට පවා කොවිඩ් එන්නත ලැබී නොමැති තත්ත්වයක් තුළය. සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ආණ්ඩුව මේ ගැන තවමත් පිළිගත හැකි පිළිතුරක් දී නැත. මේ නිසා ජනතාව කල්පනා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පමණක් නෙව ආණ්ඩුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ග්‍රහණයට හසුවී තිබෙන බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආකාරයට සදාචාරාත්මක සීමාවන් පවා නොතකමින් කටයුතු කරන්නේ ඇත්තෙන්ම වෛද්‍යවරුන් වෙනුවෙන්ද, නැතහොත් එහි නායකත්වයේ සිටින එක් අයකු හෝ කිහිප දෙනකුට බලය තහවුරු කර ගැනීම සඳහාද? ඔවුන් සෞඛ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් බල්ලා මාර්ක් එකට දමමින්, පමණක් නොව තම සංගමයේ සාමාජිකත්වයේ නැති වෛද්‍යවරුන්ට පවා අභූත චෝදනා නගමින් ඔවුන්ට ගරහමින් සිටින්නේ සංගමයේ නායකත්වය යළිත් වරක් අත්කර ගැනීමට බව සෞඛ්‍ය සේවාවේ අනෙකුත් සේවාවන්ගේ පමණක් නොව මධ්‍යස්ථ වෛද්‍යවරුන්ගේද අදහසය. එසේ නම් ආණ්ඩුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වැඩියෙන් බෙදමින් පමණක් නොව ඔවුන්ගේ කුණු කමින් සිටින්නේ ඒ සඳහාද?

හේතුව කුමක් වුවත් ආණ්ඩුව දුරදිග නොබලා කටයුතු කිරීම නිසා අවදානමකට ලක්ව සිටින්නේ මේ ර​ටේ අසරණ ජනතාවය. මේ නිසා සෞඛ්‍ය සේවාව තුළ පැන නැගී ඇති වර්ජන රැල්ල පාලනය කර ජනතාවගේ මරණ බිය නැති කොට නිරෝගී ජීවිතයකට ඇති අයිතීන් තහවුරු කළ යුත්තේ ආණ්ඩුව විසිනි. ප්‍රශ්නය මේ වනවිට ඔඩුදුවා ඇති ආකාරය අනුව ඒ සඳහා ආණ්ඩුවට පහසු මාර්ගයක් ඇතැයි අප සිතන්නේ නැත.

වර්ජන තර්ජනයෙන් නිදහස් වන්නට නම් ආණ්ඩුව කළ යුත්තේ හෙද හෙදියන්ට දුන් පොරොන්දු ඉල්ලා අස් කර ගැනීමය. එසේ වුවහොත් අනෙකුත් සේවා නිහඬවනු ඇති නමුත් හෙද හෙදියන් යළිත් වෘත්තීය සටනකට ​යොමුවීම වැළැක්විය ​​නොහැකිය. එසේ නම් හෙද හෙදියන්ට දුන් දේවල් අතුරු හා පරිපූරක වෛද්‍ය සේවාවන්ටද දීමට ආණ්ඩුවට සිදුවනු ඇත. හෙද හෙදියන්ගේ ඉල්ලීම් ලබා දුන්හොත් වැඩවර්ජනයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනටමත් අනතුරු අඟවා ඇති තත්ත්වයක් තුළ එයද කළ නොහැකිය. මේ සියල්ලට වඩා ආණ්ඩුවට මුහුණ පාන්නට සිදුවන ලොකුම ප්‍රශ්නය වනු ඇත්තේ මේ කුමන ඉල්ලීමක් හෝ ලබා දෙන්නට අරමුදල් සම්පාදනය කර ගැනීමය. ආණ්ඩුවට​ දැන් කියන්නට සිදුව ඇත්තේ ‘‘එකක් කඩතොළු මකාගන්නට ගොසින් මට වූ කාරියා – දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා’’ යනුවෙන් ද?