කතුවැකි

FACE MASK දාන්නද එපාද? හරියට කියන්න

ඇඳිරි නීතිය පනවන්නේ ආණ්ඩුව විසිනි. ඉවත් කරන්නේද ආණ්ඩුව විසිනි. ඇඳිරි නීතිය පවතින කාලයේ කඩපිලකට යෑමට ජනතාවට අවසරයක් නැත. ගියත් ඇති වැඩක් නැත්තේ ඒ කාලයේ කඩ සාප්පුද වසා ඇති බැවිනි. මේ නිසා ගෙදර දොරේ අඩුපාඩුවක් වුවත් ඉවසා සිටින්නට ජනතාවට සිදු වේ. ඇඳිරි නීතිය ඉවත් කෙරෙන්නේ කෙටි කාල සීමාවකටය. ඒ සීමිත කාලයේ තමන්ට අවශ්‍ය අඩුම කුඩුම සපයා ගන්නට සියලු දෙනා උත්සාහ ගන්නේ මේ නිසාය. මේ නිසා තදබදයක් ඇති වීම අනිවාර්යය. ඒ බව දැන දැනත් ජනතාව ඒ තදබදයට මැදිවන්නේ ආසාවට නොව වෙනත් විකල්පයක් නොමැති නිසාය. යළි කවදා ඇඳිරි නීතිය ඉවත් කෙරේදැයි නිශ්චිත නොමැති නිසා අත කණකර උකස් කර හෝ හැකි තරම් ආහාර ද්‍රව්‍ය රැස් කර ගන්නට ජනතාවට සිදුව තිබේ.

තත්ත්වය එසේ වුවත් මුහුණු පොතේ බක පණ්ඩිතයන් සේම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය පවා වාර්තා කරන්නේ ජනතාව මතම වැරැද්ද පැටවෙන ආකාරයටය. මේ වාර්තාවල සාරාංශය වන්නේ ජනතාව වෛද්‍ය උපදෙස් පවා නොතකා වගකීමෙන් තොරව කටයුතු කරන්නේ යැයි යන්නය.

මේ ආකාරයටම මුහුණ ආවරණ (FACE MASK ) භාවිත කිරීම සම්බන්ධයෙන්ද ජනතාව පත්ව සිටින්නේ “මග හිටියොත් තෝ නසී – ගෙදර ගියොත් අඹු නසී” තත්ත්වයකටය. සෞඛ්‍ය අංශ කියන අන්දමට අප රට තවමත් සියලු දෙනා මුහුණු ආවරණ පැලඳිය යුතු මට්ටමට පැමිණ නැත. මේ නිසා කොරෝනා ආසාදිතයන් හැර අන් අය මුහුණු ආවරණ භාවිත කිරීම අත්‍යවශ්‍ය නොවේ. මේ බව කියන්නේ ඉහළම සෞඛ්‍යය බලධරින්ය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දොස්තර අනිල් ජාසිංහ සේම නියෝජ්‍ය සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල් දොස්තර පබා පලිහවඩනත් මේ බව රටට ඇසෙන සේ කියා තිබේ.

සෞඛ්‍යය අංශයේ මොන ලොක්කා කීවත් මුහුණු ආවරණයක් නොමැතිව පාරට බහින්නට පොලිසිය ඉඩ දෙන්නේ නැත. මුහුණු ආවරණයක් නොමැති නම් පේමන්ට් කඩයකට පවා ඇතුළු විය නොහැකිය. මුහුණු ආවරණ නොමැති තරුණයන් දෙදෙනකුට ඇඳ සිටි කමිසය ගලවා මුහුණ ආවරණය කර ගන්නා ලෙස පොලිසිය නියෝග කරන සිද්ධියක් රූපවාහිනියෙන්ද ප්‍රචාරය කෙරිණ. පොලිසිය මේ අන්දමට කටයුතු කිරීම නිසා බොහෝ තැන්වල සාමාන්‍ය ජනතාව සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරු ඇති වී තිබේ. කෙසේ වුවත් දෙනෝ දාහක් ඉදිරිපිට ලැජ්ජාවට පත්වන්නේ ජනතාවය. කවුරු ලැජ්ජාවට පත් වුවත් පොලිසිය එසේ කටයුතු කරන්නේ පොලිස්පතිවරයා ලිඛිතවම දී ඇති නියෝගයකට අනුවය. මේ නිසා මේ ගැන පොලිස් නිලධාරින්ට දොස් කීමටද නොහැකිය. ඔවුන් ක්‍රියාත්මක කරන්නේ තම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අණය.

මේ කියන්නේ රට මෙතරම් අභියෝගයකට මුහුණ දී තිබියදීත් අපේ නිලධාරින් එක මතයක සිට වැඩ නොකරන බවද? එවැනි තත්ත්වයක් පවතින විට ජනතාවට තමන්ගේ ජීවිත ගැන මොනතරම් අනාරක්ෂිතභාවයක් ඇති වන්නේද? මුහුණු ආවරණය පැලඳිය යුතුද නැද්ද යන්න හරිහැටි ජනතාවට උපදෙසක් දිය නොහැකි නම් ආණ්ඩුව හෝ නිලධාරින් දෙන උපදෙස් ජනතාව විශ්වාස කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිද? ඇඳිරි නීතිය ඉවත් කරන කාලයේ දී ජනතාව වෙළෙඳපොළේ පොර කන්නේ මේ අනාරක්ෂිත බව නිසා නොවේද?

අප රටේ සියලු දෙනා මුහුණු ආවරණ පැලඳීම අනිවාර්යය නොවේ යැයි වෛද්‍ය බලධාරින් කීම වෙද්‍යෙ විද්‍යාත්මකව නිවැරදි විය හැකිය. එහෙත් රටේ සියලු දෙනා වෛද්‍ය විද්‍යාවේ පරතෙරට ගොස් නැත. අනෙක් අතට සියලු දෙනා මේ අවස්ථාවේ සිටින්නේ මර බියකිනි. මේ නිසා මේ ආවස්ථාව න්‍යායන් මතම කටයුතු කළ හැකි මොහොතක් නොවන බව වෛද්‍ය අංශද තේරුම් ගත යුතුය. පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්නට බැරි යැයි කියන්නේ මේ නිසා විය යුතුය.

අනෙක් අතට අත්‍යවශ්‍ය වුවත්, නැතත් ජනතාව මුහුණු ආවරණ භාවිත කිරීමේ ඇති වරද කුමක්ද? සෞඛ්‍ය අංශ කියන්නේ අනිවාර්යයෙන් මුහුණු ආවරණ භාවිත කළ යුත්තේ කොරෝනා ආසාදිතයන් පමණක් බවය. ඉතින් සෑම කෙනකුම තමන් ආසාදිතයකු දැයි දැන ගන්නා තෙක් ආරක්ෂක පියවරක් ලෙස මුහුණු ආවරණයක් භාවිත කිරීමේ වරද කුමක්ද? ආසාදිතයකු බව නොදැන, යමෙකු මුහුණු ආවරණයක් නොමැතිව විවෘත සමාජයේ හැසිරීමෙන් සිදුවිය හැකි හානිය අප කාටත් වඩා හොඳින් දන්නේ වෛද්‍ය බලධාරින් නොවේද?

ජනතාවට මුහුණු ආවරණ පැලඳීමට උපදෙස් දෙන්නැයි පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කරන්නට ඇත්තේ සද්භාවයෙන් බවට සැකයක් නැත. එහෙත් චක්‍රලේඛය නිකුත් කරන්නට පෙර ඒ ගැන සෞඛ්‍ය අංශයෙන් උපදෙස් ලබා ගත්තේ නම් කොතරම් අගනේද? පොලිස්පතිවරයා එසේ කටයුතු කර නැත්තේ නිලධාරි අහංකාරය නිසාද? නැත්නම් අපි කොරෝනාවලට එරෙහිව සටන් වදින්නේ ඒකාබද්ධව නොවන නිසාද? ඒකාබද්ධ වැඩපිළිවෙළක් නොතිබුණොත් මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කිරීමට පෙර සෞඛ්‍යය අංශයේ කිසියම් උපදේශයක් ලබාගත යුතු යැයි සිතන්නට තරම් පොලිස්පතිවරයාගේ සාමාන්‍ය දැනුම දුර්වලද? එසේත් නැතිනම් කොරෝනා පරාද කිරීමේ සටනේදී තමන්ද ලොකු වැඩක් කළ බව පෙන්වීමට පොලිස්පතිවරයාට අවශ්‍ය වූයේද?

එය එසේ නම් තත්ත්වය ඉතාමත් කනගාටුදායකය. පාපන්දු, රගර්, හොකී ආදී මේ කොයි කණ්ඩායම් ක්‍රීඩාවකත් දක්ෂ ක්‍රීඩකයන් වන්නේ තනියම ගෝල් ගහන්නට උත්සාහ කරන්නා නොව නියම වේලාවට නියම කෙනාට බෝලය පාස් කරමින් නියම වේලාවට බෝලය ලබා ගනිමින් ක්‍රීඩා කරන ක්‍රීඩකයාය. ඇතැම් විටෙක ඔහු කිසි දිනෙක ගෝලයක් ලබා ගන්නේ නැත. අනෙකුත් ක්‍රීඩකයන්ගේ සහාය නොමැතිව ගෝලයක් ලබා ගැනීම ඉඳහිට සිදුවිය හැකි නමුත් එවැනි ක්‍රීඩකයන් නිසා තරග ජයග්‍රහණය කිරීම කෙසේ වෙතත් පරාජය වීම අපේක්ෂා කළ හැකිය.

කොරෝනා වසංගතයද අප සියලු දෙනා එක්ව ජයගත යුතු අභියෝගයකි. මේ සටනේදී නිවෙසට වී ස්වේච්ඡාවෙන් මුහුණු ආවරණ මසන අයකුද කරන්නේ ලොකු වැඩකි. මේ සටනේ තනි ජයග්‍රාහකයන් සිටින්නට හැටියක් නැත. කිසිවකු තනි ජයග්‍රහණ ලබා ගන්නට උත්සාහ කරන්නේ නම් ඒ පුද්ගලයා කරන්නේ මේ සටන දිනන්නට නොව පරදින්නට සහය වීමය. ක්‍රීඩා තරගයක් නම් පරාජය වුවහොත් ඊළඟ තරගය ජයග්‍රහණය කරන්නෙමුයි අධිෂ්ඨානයෙන් කටයුතු කළ හැක. කොරෝනාවට එරෙහි සටන එවැනි තරගයක් නොවන බව අප කවුරුත් සිහි තබාගත යුතුය. පරාද වුවහොත් පරද වන්නේ රටය. එසේ වුවහොත් දෙවැනි අවස්ථාවක් ගැන සිතන්නට හෝ ඉඩක් නැත.