brand logo

DFCC බැංකුව අභියෝග මැද සාධනීය ප්‍රතිඵල වාර්තා කරයි

30 November 2019

2019 සැප්තැම්බර් මස 30 වන දිනෙන් අවසන් වූ කාලසීමාව සඳහා රු. මිලියන 2,217ක බදුවලට පසු ලාභයක් වාර්තා කිරීමට DFCC බැංකුව සමත් විය. මෙම අගය වාර්තා වනුයේ කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් සමාගම සම්බන්ධයෙන් සිදුවූ සාධාරණ වටිනාකම් හායනය සැලකිල්ලට ගැනීමට පෙර ය. පෙර වසරේ මෙම කාලපරිච්ඡේදය සඳහා බදුවලට පසු ලාභය රු. මිලියන 2,723 ක් විය. කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් සමාගම සම්බන්ධයෙන් සිදුවූ සාධාරණ වටිනාකම් හායනය සැලකිල්ලට ගත් පසුව, පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයේ බදුවලට පසු ලාභය වන රු. මිලියන 1,791 කට සාපේක්ෂව, මෙම වසරේ එම අගය රු. මිලියන 1,594 ක් වේ. මෙම පදනම අනුව, 2019 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන වූ කාලපරිච්ඡේදය සඳහා DFCC සමූහය රු. මිලියන 1,756 ක බදුවලට පසු ලාභයක් වාර්තා කර ඇත. පසුගිය වසරේ මෙය වාර්තා වූයේ රු. මිලියන 1,955 ක් වශයෙනි. 2019 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසාන වූ කාලපරිච්ඡේදය සඳහා රු. මිලියන 9,839 ක මෙහෙයුම් ආදායමක් ඉපයීමට DFCC බැංකුව සමත් වී තිබේ. පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ මෙය රු. මිලියන 9,296ක් වූ අතර මෙය 6%ක වර්ධනයකි. 2019 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා ගාස්තු සහ කොමිස් ආදායම රු. මිලියන 1,468 ක් දක්වා 3%කින් ඉහළ ගොස් ඇත. මෙය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ රු. මිලියන 1,422 ක් විය. මෙම කාලසීමාව තුළ තම ශාඛා ජාලය ව්‍යාප්ත කරන අතර ඩිජිටල් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමටද DFCC බැංකුව කටයුතු කළේ ය. එම නිසා, පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයේ රු. මිලියන 4,862 ක් වූ මෙහෙයුම් වියදම්වලට සාපේක්ෂව, මෙහෙයුම් වියදම අදාළ කාලපරිච්ඡේදයට සාපේක්‍ෂව රු. මිලියන 5,531 දක්වා ඉහළ ගොස් තිබේ. ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සහතික කිරීම උදෙසා ශාඛා ජාලය වේගයෙන් පුළුල් කිරීම මෙන්ම ATM යන්ත්‍ර සහ Cash Recycle යන්ත්‍ර සහිත'My Space' ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම මෙම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. DFCC MySpace ස්වයං-බැංකුකරණ සේවා ක්‍රමය මගින් වසරේ ඕනෑම දිනයක පැය විසිහතර පුරා ගනුදෙනු කළ හැකි නිසා නව ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් බැංකුව වෙත ආකර්ෂණය වී තිබේ.
 

More News..