Uncategorized

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතාශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති ලෙස පත්වේ

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති ලෙස පත්කර තිබේ. පසුගියදා කොළඹදී පැවති එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකෙරිණි. ඒ අනුව 2021 වසරේ ශ්‍රී ලංකා බැංකු සංගමයේ මහා සභා රැස්වීම පැවැත්වෙන තෙක් ලක්ෂ්මන් සිල්වා මහතා මෙම තනතුර දරනු ඇත. මීට පෙර 2019/2020 කාලසීමාව සඳහා මෙම සංගමයේ සභාපති ලෙස දීමන්ත සෙනෙවිරත්න මහතා කටයුතු කළේ ය.

ශ්‍රී ලංකා බැංකු සංගමය යනු, ශ්‍රී ලංකාවේ බැංකු සියල්ලටම එකම වේදිකාවක සිට, පොදු ඉලක්ක වෙනුවෙන් වැඩ කිරීම සඳහා පසුබිම සකස් කරන සංගමයකි. එමගින් එම බැංකුව වල ගනුදෙනුකරුවන්, ආයෝජකයන්, සේවක සේවිකාවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සියලුම දෙනා වෙනුවෙන් තිරසර වටිනාකම් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකා බැංකු සංගමයේ නායකත්වය යටතේ බැංකු ක්ෂේත්‍රයට අදාළ ගැටලු සාකච්ඡා කිරීමට මෙන්ම මෙරට බැංකු ක්ෂේත්‍රයට දියුණුව කරා ගමන් කළ හැකි නව මාවත් හඳුනා ගැනීමට විවිධ බැංකු කටයුතු කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව සමග අත්වැල් බැඳගනිමින්, තිරසාරත්වය කරා යන ගමන සාර්ථක කරගැනීම සඳහා වැදගත් වන ස්වේච්ඡා මූලධර්ම 11 ක් සම්මත කරගෙන, ඒවා භාවිතය සඳහා තම සාමාජික බැංකු යොමුකරවීමටද එම සංගමය සමත් වී තිබේ.

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මූල්‍ය සේවා හා බැංකු ක්ෂේත්‍රයේ වසර 30 කට වැඩි පළපුරුද්දක් සහිත ප්‍රවීණ වෘත්තිකයෙකි. DFCC බැංකුව මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් බවට පත්කිරීම සඳහා ඒ මහතා සුවිශාල මෙහෙවරක් ඉටුකර තිබේ. 1987 වසරේදී DFCC සමූහය සමග එක්වූ ලක්ෂ්මන් සිල්වා මහතා සිය දැනුම හා පළපුරුද්ද ඔස්සේ DFCC බැංකුවේ ඉදිරි ගමනට දායක වෙමින්, සේවාවන් රාශියක් හඳුන්වා දීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ ය.