brand logo

CIDයෙන් මධුෂ්ට සැප - අලුතෙන්ම විමර්ශනයක් ආරම්භ කිරීමේ සැලසුමක්

11 January 2020

ඩුබායි සිට මෙරටට ගෙනැවිත් විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යටතේ රහස් පොලිසියේ රඳවා සිටි මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාට රහස් පොලිසිය තුළදී විශේෂ වරප්‍රසාද ලබාදීමේ සිද්ධියක් හෙළිවීම නිසා මධුෂ් ගැන යළි විමර්ශන ඇරඹීමට රජයේ අවධානය යොමුවී ඇත. හතරවැනි තට්ටුවේ සිර මැදිරියක රඳවා සිටි මාකඳුරේ මධුෂ්ට සහකාර පොලිස් අධිකාරිවරයකු ලවා ඩුබායිවලට කතා කිරීමට දුරකථන පහසුකම් පවා ලබාදී ඇතැයි හෙළිවී ඇත. මධුෂ්ගේ බිරිඳට පවා ඩුබායිවලට කතා කිරීමට ඉඩ දී තිබෙන බව හෙළිවී ඇත. දකුණේ පාතාලයේ අවි ආයුධ ගබඩාවකට උරුමකම් කී මාකඳුරේ මධුෂ් ඩුබායි සිට මෙරටට එවා මාස හතකට වඩා ගතවී ඇතත් මෙතෙක් සොයාගෙන ඇත්තේ පිස්තෝල දෙකක් හා පින් එක නොමැති ටී-56ක් පමණක් බවද අනාවරණය වී ඇත. මෙම අවි කාලයක් තිස්සේ ඇළක සඟවා තිබියදී සොයාගත් බව පෙන්වා දී ඇතත් ඊට දින දෙකකටත් පෙර සම්පූර්ණයෙන්ම මෙම ඇළ සුද්ද පවිත්‍ර කර ඇති එකක් බව අනාවරණය වෙයි. මාකඳුරේ මධුෂ් ගැන කාලයක් තිස්සේ විමර්ශන කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ටවත් මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීමට ඉඩ නොදී මධුෂ් සම්බන්ධ විමර්ශන හිතුමතේ කරගෙන ගොස් ඇතැයි හෙළිවී ඇත. ඒ අනුව මධුෂ්ගේ ලිපිගොනු යළි විවර කර අලුතින් විමර්ශන කරවීමට උපදෙස් දී ඇත. ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ප්‍රභූවරුන් ඝාතනය කිරීම සඳහා එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලය මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල කල්ලිවල සහාය ගැනීමට උත්සාහ ගන්නා බව හමුදා බුද්ධි අංශය කළ අනතුරු හැඟවීම් ජාතික ආරක්ෂක මණ්ඩලයට පවා යොමුකර තිබිණි. පලෙයි රෝහලේදී අත්අඩංගුවට ගත් අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන්ගෙන් ප්‍රභූ ඝාතන සඳහා පාතාලය යොදා ගැනීමට වූ සූදානම හෙළිකර ගෙන තිබිණි. යුද සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඝාතන සැලසුමක් සඳහා මාකඳුරේ මධුෂ්ගේ සහාය ගෙන හම්බන්තොටදී ක්ලේමෝ ප්‍රහාරයක් එල්ල කිරීමට මධුෂ්ට ආයුධ පෙට්ටියක් එවූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය එවකට බුද්ධි වාර්තා ලබාදී තිබිණි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..