විශේෂාංග

LED

​ලොවම ලෙඩ කරන LED ආලෝකය

පසුගිය දවසක ‘ද ගාර්ඩියන්’ පුවත්පත කළ හෙළිදරව්වක් ලොව පුරා කැළඹිල්ලක් ඇති කරන්නට සමත් විය. එහෙත් ඔබ වරදවා වටහා නොගත යුතුය. ඒ දේශපාලන පුවතක්, අල්ලසක්, අතුරුදන්වීමක් හෝ මිනීමැරුමක් සම්බන්ධ හෙළිදරව්වක් නොවේ. එය මිනිස් සෞඛ්‍යය පිළිබඳ හෙළිදරව්වකි. බටහිරින් ලෝකයට හෙළිකරන ලද්දක් වුවද පෙරදිග අපටද යළි සිතා බැලිය යුතු හෙළිදරව්වකි.
එයින් කියවුණේ අවුරුදු 18ට අඩු (දරුවන්) පුද්ගලයින් 1,17,000ක පමණ ප්‍රමාණයක් පසුගිය දෙවසර තුළ මෙලටනින් (Melatonin) භාවිතයට යොමු තිබෙන බවයි. පසුගිය වසර දෙක තුන තුළ බ්‍රිතාන්‍යයේ තරුණයින් අතර මෙලටනින් භාවිතය 25%කින් ඉහළ ගොස් ඇතැයිද වාර්තා විය. මෙලටනින් සාමාන්‍යයෙන් නිර්දේශ කරනුයේ වයස අවු. 55 ඉක්මවූවන්ටය.

මෙලටනින් (Melatonin) යනුවෙන් හැඳින්වෙන්නේ කේතුක ග්‍රන්ථිවල (pinel gland) නිපදවෙන හෝර්මෝනයකි. ​මෙලටනින් ඖෂධය බොහෝවිට භාවිත කෙරෙනුයේ අනිද්‍රාව (insomnia) ට නිදාගන්නට බැරිකමට පිළියම් පිණිසය. නිල වශයෙන් කිසිදු පිළිගැනීමක් නොකෙරෙතත් සාමාන්‍ය මතය වන්නේ මෙලටනින් නින්ද ඉක්මන් කිරීම සඳහා හේතු සාධක වන බවය. එසේ නම් දරුවන් විශාල ප්‍රමාණයක් මේ ඖෂධය භාවිත කිරීමට පෙලඹී ඇත්තේ ඇයි දැයි සොයා බැලීම වටී.

ඔවුන් ඒ සඳහා යොමුවී ඇත්තේ නින්ද නොයාම (අනිද්‍රාව – insomnia)ට පිළියම් සොයනු පිණිසමය. එහිදී මතුවූ ගැටලුව නම් එතරම් ප්‍රමාණයක දරුවන් පිරිසකට එම රෝගී තත්ත්වය ඇතිවන්නට හේතුව කුමක්ද යන්නය. සාමාන්‍යයෙන් අනිද්‍රාව ඇතිවීමට හේතු ලෙස සැලකෙන්නේ නාසය සම්බන්ධ රෝගාබාධ ආහාර මාර්ග පද්ධතියේ රෝග, ආතරයිටීස්, ඇදුම, පාකිංසන් හෝ කොන්දේ ආබාධ වැනි තත්ත්වයන්ය.
එහෙත් මේ සම්බන්ධ පර්යේෂණ හා අධ්‍යයන සිදුකළ පර්යේෂකයන් හඳුනාගෙන ඇත්තේ මීට හාත්පසින් වෙනස් තත්ත්වයකි. එනම් LED ආලෝකය (blue – rich LED) නින්ද කඩාකප්පල් කරන්නට හේතුවී ඇති බවයි. ගෙදරදොර වටපිටාවේ ඇති Blue – rich LED ආලෝකය මෙන්ම ස්මාර්ට් දුරකථන, ටැබ් යනාදී වශයෙන් වූ උපාංගවල තිරවලින් නික්මෙන LED ආලෝකය මීට හේතුවී තිබෙන බවයි.

මීට පෙරද සිදු කරන ලද පර්යේෂණයකින් ඉඟි කොට තිබුණේ දුරකථන ටැබ් හෝ පරිගණක එකී තාක්ෂණික උපකරණ භාවිතය දරුවන්ගේ නින්ද අඩු කරන්නට බලපා තිබෙන බවය. අනෙක් අතට ඒවායේ තිරවලින් නික්මෙන LED ආලෝකය නින්දට හිතකර හෝර්මෝනවල ක්‍රියාකාරිත්වය අඩපණ කරන්නට හේතු වෙතැයි සැලකෙයි.

ආලෝකය සම්බන්ධව පුද්ගල සෞඛ්‍ය පිළිබඳ LightAware පදනම හා එක්ව කටයුතු කරන වෛද්‍ය ජෝන් ලින්කන් සහ එලීනර් ලුවින් පවසන්නේ මේ තත්ත්වය මේ ආකාරයෙන් වර්ධනය වන්නට ඉඩ හැරිය හොත් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත දැරුදැරියන් සංඛ්‍යාවක් නුදුරේදීම අනිද්‍රාව නිසා පීඩාවට පත්වන්නට ඉඩ තිබෙන බවය. ඒ පමණක් නොව, එය ඔවුන්ගේ අධ්‍යාපනයට සේම පුද්ගල සෞඛ්‍යයට ද බලවත් තර්ජනයක් වනු ඇතැයිද අනාවැකි පළ කෙරෙයි.

අඩුම තරමේ ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ භාවිත කරන දරුවන්ගේ ප්‍රමාණය අද දවස වන විට ලොව පුරා සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. අවාසනාවකට මෙන් කාර්ය බහුල බව නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ ඔවුහු රාත්‍රී නින්ද සඳහා සයනයට ගොඩවෙද්දී ජංගම දුරකථනය අතට ගනිති. අනෙක් අතට එය අද දවස වන විට අවුරුදු 18 අඩු වයසේ පසුවන්නන්ගේ ප්‍රශ්නයක් පමණක් නොවේ. යන්තමින් වැඩිහිටි වියට පිවිසුණු යෞවන යෞවනියන් බොහෝ දෙනා රාත්‍රී කාලයෙන් කොටසක් ගෙවා දමන්නේ මෙබඳු උපාංගයක් සමගය.
කෙමෙන් එයට ඇතිවන ඇබ්බැහියත් LED ආලෝකය නිද්‍රාවට උදව් සපයන හෝර්මෝන යටපත් කරන්නට පටන් ගැනීමත් හේතුවෙන් නිදා ගැනීමේ අවශ්‍යතාව ක්‍රමයෙන් ඔවුන් වෙතින් දුරස් වෙයි. ස්ථිර වේලාවක් යොදාගෙන ජංගම දුරකථනය හෝ එබඳු මෙවලම පසෙකින් තැබුවද ඒ සැණින් නින්ද ඔහු හෝ ඇය සොයා නොඑන තත්ත්වයක් ඇති වෙයි. එවිට සිදුවන්නේ මෙමගින් ඇතිවන අලස බව මග හැරීමට යළිත් උපාංගය අතට ගැනීමයි. මේ ආකාරයෙන් ඔහුගේ ඇස මුළුමනින්ම පාහේ අනිද්‍රාවට (insomnia) ගොදුරු වූවකු බවට පත්වෙයි.

අනිද්‍රාවෙන් මිදීම සඳහා ද දවසින් දවසට අලුතෙන් ක්‍රමවේද හා උපාය මාර්ග හඳුන්වා දෙනු ලැබෙයි. නව තාක්ෂණයත් සමග අනිද්‍රාව ඇතිවීමට නව හේතුසාධක හට ගන්නා බැවින් ඒ සඳහා පිළියම් සොයා අලුත් අත්හදා බැලීම් කළ යුතු බව ​වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.

මේ පිළිබඳව සැපයෙන උපදෙස් අතර ප්‍රධාන කාරණය ලෙස සැලකෙන්නේ ඔබේ නිදන කාමරයයි. එනම් නිදන කාරමය නිදා ගැනීමට පමණක් (your bed room is for sleep) යන න්‍යාය හැකිතාක් දුරට ක්‍රියාත්මක කිරීමයි. අවාසනාවකට මෙන් අද අපට සිදුකරන්නට නොහැකි වී ඇත්​තේද එයයි. බොහෝ විට නිදන කාමරය විසිත්ත කාමරයක් බවට පත්වෙයි. ඇතැම් විට එය කන්තෝරු කාමරයකි. මෙහිදී උපදෙස් ලැබෙන මූලික කාරණා දෙකකි. එනම් නිදන කාමරය නිහඬ නිසංසල බව හා LED ආලෝක නිකුත් කරන බල්බ හෝ උපාංග තිරවලින් තොර විය යුතු බවයි. මිනිස් මොළයේ ස්වභාවිකව ඇති කරන මෙලටනින් හෝර්මෝනය වර්ධනය සඳහා මේ සියල්ල ඇති කරන්නේ තදබල බාධාවකි.

ඊළඟ කාරණය වන්නේ නිද්‍රා රටාව (bedtime routine) යි. එනම් නිසි වේලාවට නින්දට යාම හා වේලාසන අවදි වීමයි. එහෙත් එය හිතන තරම් පහසු කාරණයක් නොවන්නේ බොහෝ දෙනකුගේ වැඩ කන්දරාව අහවර කර ගන්නට පැය විසිහරතක් මදි වීම නිසාය.

වඩා යහපත් කාරණාව ලෙස සැලකෙන්නේ නින්දට විනාඩි හතළිහකටත් පෙර ඔය කියන්නා වූ උපාංග නිවා දැමීමයි. ඉන්පසු පොතක් අතට ගැනීම හෝ නින්ද කැන්දන සංගීතයකට සවන්දීම මේ කරදරයෙන් මිදෙන්නට ඇති පහසුම මගයි.
එමෙන්ම රාත්‍රී ආහාර පාන ගැනද ඔබේ සැලකිල්ල යොමු විය යුතුය. නිද්‍රාවට බාධා සිදුවන ජීර්ණයට අපහසු ආාහාර වර්ග හෝ කෝපි වැනි උත්තේජන ඇති කරන පාන වර්ගවලින් වැළකීම එහි අදහසයි.
අනෙක් කාරණය ලෙස සැලකෙන්නේ හෙට දවස ගැන සිතමින් හෝ ඔරලෝසුවේ කටුව දෙස බලමින් ලතවීමෙන් වැළකීමයි. ඒ වෙනුවට ඒ සියල්ල මොහොතකට අමතක කර දමා ඒ සියලු රාජකාරි ඊළඟ දවසේ උදය දක්වා කල් දැමීමයි.

එහෙත් අනාගත පරම්පරාවේ සෞඛ්‍ය ගැන සලකා බලද්දී, ඔවුන්ගේ නින්ද ගැන වඩා වැඩි විමසිල්ලක් යොමු කිරීම වැඩිහිටියන්ගේ දෙමාපියන්ගේ වගකීමකි. මෙකී කාරණාවලට අමතරව භාවනාව, ව්‍යායාම, කියවීම වැනි විනෝදාංශ බොහෝ විට ඔවුන් ජංගම දුරකථන තිරයෙන් ඈත් කර තබන්නට හේතු වනු ඇත. කෙසේ හෝ වේවා ක්‍රමයෙන් මේ ව්‍යසනයට හිස ඔසවන්නට ඉඩ සැලසුවහොත් නිදාගන්නටත් බෙහෙත් පෙත්තක් අවශ්‍ය පරම්පරාවක් අනාගතයේදී බිහි වනු නියතය.
පාලිත ජයකොඩි