brand logo
 කුඩු ජාවාරමුන්ට උදව් කළ පොලිස් ලොක්කන් දෙදෙනකු අත්අඩංගුවට

කුඩු ජාවාරමුන්ට උදව් කළ පොලිස් ලොක්කන් දෙදෙනකු අත්අඩංගුවට

19 April 2024 | තිස්ස රවීන්ද්‍ර පෙරේරා



ඩුබායි කේන්ද්‍ර කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා උදව් දුන් බවට චෝදනාවට මාවතගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපතිවරයා හා පොලිස් සැරයන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත.


ඩුබායි සම්පත් හා ඩුබායි අයියා නමින් හඳුන්වන විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට මෙම දෙදෙනාට චෝදනා එල්ල වී ඇත.


හෙරොයින් ග්‍රෑම් 135 ක් සමග අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන මාවතගම පොලිසිය මගින් ප්‍රශ්න කරමින් සිටි ජාවාරම්කරුවකුට මෙම නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විසින් තම දුරකථනය සිර මැදිරියය තුළට ලබාදී ඩුබායි ජාවාරම්කරුවන් සමග කතතා කිරීමට ඉඩ සලසා දී ඇත.


කිසිදු තොරතුරක් හෙළි නොකරන ලෙස ඩුබායි පාතාලය මෙම දුරකථන ඇමතුමෙන් දැනුම් දුන් පසුව පසුදින මාවතගම පොලිස් ස්ථානාධිපති විසින් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට ගිය මොහොතේ ‘‘වැඩක් නැහැ සර් පොලිසියේ මහත්තයෙක්ගේ ෆෝන් එකකින් ඩුබායි සම්පත් කතා කරලා මුකුත් හෙළි කරන්න එපා කිව්වා’’ යැයි හෙළිකර තිබේ.


මේ අනුව විමසීමේදී නඩු භාණ්ඩ අංශයේ ස්ථානාධිපතිවරයා මේ බව පිළිගෙන තිබේ.


ඉන්පසුව හෙරොයින් ග්‍රෑම් 35 ක් සමග මාවතගම පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු දොරටියාව පොලිසියේ සැරයන්වරයකු සමග දිගටම සබඳතා පවත්වාව ඇතැයි හෙළිවී තිබේ.


මෙම සැරයන්වරයා හා උප පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය ගැන මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මාර්ගයෙන් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැනුවත් කර ඇත.


මත්ද්‍රව්‍ය ජාලය සමග සබඳතා පවත්වන කිසිවකුට සමාවක් නොදෙන ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විමර්ශන යොමු කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.


මේ අනුව සැකකාර උප පොලිස් පරීක්ෂක හා සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඊයේ (18) පස්වරුව වනවිටත් ප්‍රශ්න කරමින් තිබිණ.


ඩුබායි අයියා හා ඩුබායි සම්පත් යන දෙදෙනකු හා මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් සමග මෙම දෙදෙනා දුරකථනයෙන් නිරන්තරව ඇමතුම් ගෙන ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත.

 

More News..