brand logo
කමල් - විකුම් යළි වරප්‍රසාද කාරක සභාවට

කමල් - විකුම් යළි වරප්‍රසාද කාරක සභාවට

27 April 2024 | නිලන්ත මදුරාවල



ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යළිත් වරක් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කාරක සභාවට කැඳවන ලෙසට ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි පාර්ලිමේන්තුවේ දී කළ ඉල්ලීම කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එම කාරක සභාවට යොමු කරනු ලැබ තිබේ.


කථානායකවරයා මේ බව පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. මන්ත්‍රිවරයා ඉහත ඉල්ලීම කළේ පසුගිය මාර්තු මස 6 වැනිදා ය.


මන්ත්‍රිවරයාගේ එම ඉල්ලීමට හේතු වූයේ පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ විකෘති කරමින් ආරක්ෂක අමාත්‍යාංශය ‘සතිඅග අරුණ’ පුවත්පතට යවා ඇති ලිපියකි.

සන්නද්ධ හමුදාවල කාර්ය මණ්ඩලය ලක්ෂයක් දක්වා අඩු කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී මන්ත්‍රිවරයා සහ ආරක්ෂක ලේකම්වරයාත් යුද හමුදාපතිවරයාත් අතර ඇති වූ මතභේදයක් මෙම තත්ත්වයට හේතු වී තිබිණි. කාර්ය මණ්ඩලය අඩු කිරීමට විකල්පයක් වශයෙන් මන්ත්‍රිවරයා සඳහන් කර ඇත්තේ සන්නද්ධ හමුදාවේ ඉහළ නිලධාරීන්ට ලබා දී තිබෙන පහසුකම් අඩු කිරීම යෝග්‍ය බවය. මෙම අවස්ථාවේ දී ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා තමන් බිය ගන්වමින් සහ තර්ජනය කරමින් තමන් සමග වාද කළ බවට මන්ත්‍රිවරයා කර තිබූ පැමිණිල්ලක් විමර්ශනය කළ කාරක සභාව ඒ සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනා මන්ත්‍රිවරයාගෙන් සමාව අයැදිය යුතු බවට නිර්දේශ කර තිබිණි.


ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබූ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ නිලධාරීන් දෙදෙනා මන්ත්‍රිවරයාට නොව කාරක සභාවට කනගාටුව පළ කිරීමෙන් ගැටලුව සමථයකට පත් වූ බව ය.


මන්ත්‍රිවරයා දෙවැනි වරටත් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් මෙම නිලධාරීන් දෙදෙනා යළි වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ එම ප්‍රකාශය සත්‍ය නොවන බව පෙන්වා දෙමිනි.


‘‘ඇත්තටම එදා මනුස්සකමට මම එකඟ නොවුණා නම් දඬුවම් ලැබෙන්නෙ උසාවියෙන්. කාරක සභා පනත අනුව එවන් වරදකට දඬුවම් කරන්න කාරක සභාවට බලයක් නැහැ. එවන් වරදකට දඬුවම් දිය හැකි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණක් බව පනතේ සඳහන් කර තිබෙනවා. අමාත්‍යාංශය පුවත්පතට කර තිබෙන පැහැදිලි කිරීම අනුව වරප්‍රසාද පනත උල්ලංඝනය කර තිබෙනවා. පාර්ලිමේන්තුව සමච්චලයට ලක්කරමින් මේ ආකාරයට හැසිරීම සම්බන්ධයෙන් මම කථානායකතුමාගේ අවධානය යොමු කරනවා. මෙම පුද්ගලයන් දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවා පනත යටතේ කටයුතු කරන ලෙස මම ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තුව අද විශාල වශයෙන් විහිළුවට ලක් වෙලා. මෙවැනි කටයුතු නිසා තවදුරටත් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් විය හැකියි. මේ සම්බන්ධයෙන් වරප්‍රසාද පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ’’යැයි ද මන්ත්‍රිවරයා කීවේය.


කථානායකවරයා වරප්‍රසාද කාරක සභාවට යොමු කර ඇත්තේ මෙම ඉල්ලීම වන අතර පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ මේ පිළිබඳ විමර්ශනයට ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා යළි කැඳවන බව ය.

 

More News..