brand logo
පාසල් වේලාවේ ඉඩ අනුමත නාට්‍යවලට පමණයි

පාසල් වේලාවේ ඉඩ අනුමත නාට්‍යවලට පමණයි

19 April 2024 | නිලන්ත මදුරාවල


සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයෙන් නම්කර ඇති දේශීය නාට්‍යකරුවන්ගේ නාට්‍ය හැර අන් සියලු නාට්‍ය පාසල් කාල වේලාවේ නැරඹීමට සිසුන් සහභාගි නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන බලධාරීන්ට සහ විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.


පාසල් කාල වේලාවේ සහභාගි කරවිය යුත්තේ ද විෂය නිර්දේශ අනුව එම නාට්‍ය නැරඹීම සඳහා නිර්දේශිත ශ්‍රේණිවල සිසුන් පමණක් යැයි ද එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.


විෂය නිර්දේශයන්ට අදාළ නොවන නාට්‍ය මෙන් ම පාසල් දරුවන්ට ප්‍රදර්ශනයට අවසර ඉල්ලා සිටින චිත්‍රපට ද නැරඹීමට සුදුසු හෝ නුසුදුසු බවට නිර්දේශ ලබා දෙන්නේ ඒ සඳහා පත් කරනු ලැබ ඇති අමාත්‍යාංශ ඇගයීම් කමිටුව පමණක් බවත් එලෙස නිර්දේශ කෙරෙන නාට්‍ය සහ චිත්‍රපට දර්ශන සඳහා සිසුන් සහභාගි කළ යුතු වන්නේ පාසල් කාල වේලාවෙන් පසුව හෝ සති අන්තයේ බව ද එහි සඳහන්ව ඇත.


නාට්‍ය සහ චිත්‍රපට දර්ශන සඳහා අමාත්‍යාංශයෙන් නිකුත් කෙරුණු අවසර ලිපි සම්බන්ධ වංචනික කටයුතු අනාවරණය වී තිබෙන හෙයින් එම සංවිධායකවරුන් ඉදිරිපත් කරන ලිපිවල පිටපත් තමන් වෙත තබා ගත යුතු බවටත් අවශ්‍ය විටෙක එම ලේඛනවල සත්‍ය හෝ අසත්‍ය බව අමාත්‍යාංශයේ පාසල් කටයුතු ශාඛාවෙන් හෝ සෞන්දර්ය ශාඛාවෙන් තහවුරු කර ගත යුතු බවටත් අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.


මීට අදාළව නිකුත් කරනු ලැබ ඇති 01/2019 චක්‍රලේඛයේ උපදෙස් හා කොන්දේසි ද අනුගමනය කළ යුතු බව ද මෙම චක්‍රලේඛයේ සඳහන්ව ඇත.

 

More News..