brand logo
ඔන්ලයින් පාස්පෝට් ඉල්ලූ 75%කට පොට වරදී

ඔන්ලයින් පාස්පෝට් ඉල්ලූ 75%කට පොට වරදී

19 April 2024 | එෆ්.අස්ලම්

මාර්ගගතව ගුවන් ගමන් බලපත්‍ර අයැදුම් කළ අයැදුම්කරුවන්ගෙන් සියයට හැත්තෑ පහකගේම අයැදුම්පත් ප්‍රතික්ෂේප වී තිබුණු බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවැසීය. ඉල්ලුම්කරුවන් සියයට හැත්තෑ පහක්ම තාක්ෂණික දැනුමින් තොර වීමත් ඇතැම් ලිපි ලේඛන අවිධිමත් අන්දමින් යාවත්කාලීන කර තිබීමත් මත එම පුද්ගලයන්ගේ විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම ප්‍රමාද වී තිබෙන බවද පාලක ජනරාල්වරයා කීවේය.


ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම මාර්ගගතව හඳුන්වාදෙමින් ඒ වෙනුවෙන් ඇඟිලි සලකුණු සටහන් කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පනස් එකක් හඳුන්වා දුන් බවත් ඒ අනුව තෙදින හා සාමාන්‍ය සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර සඳහා අයදුම් කළ හැකි බවත් හෙතෙම කීවේය.


මේ අනුව සාමාන්‍ය සේවා යටතේ පුද්ගලයන් එක්ලක්ෂ අනූ දෙදහස් හතළිස් එකක් අයැදුම් කර තිබෙන බවත් ඉන් පුද්ගලයන් අනූ එක්දහස් අටසිය දාහත් දෙනකු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඇඟිලි සලකුණු සටහන් කර තිබෙන බවත් ඉන් පනස් පන්දහස් හයසියයක් සදහා ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කර දී ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා කීවේය.


එසේම තෙදින ක්ෂණික සේවා යටතේ පුද්ගලයන් විසි දෙදහස් හාරසිය හැත්තෑ එක් දෙනකු මාර්ගගතව අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බවත් ඉන් දහඅටදහස් හත්සිය හැත්තෑ දෙනකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ඇඟිලි සලකුණු සටහන් කර ඇති බවත් එයින් දාහත් දහස් නවසිය හතර දෙනකු සඳහා බලපත්‍ර මුද්‍රණය කර දී තිබෙන බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා කීවේය.


ඇතැම් පුද්ගලයන් මාර්ගගතව අයැදුම් කිරීමේදී උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත් ඡායාරූප අපැහැදිලි අන්දමින් ජාලගත කිරීමත් ඇතැමුන් වෙනත් පුද්ගලයන්ගේ ජංගම දුරකතන අංකවලින් අයැදුම් කර තිබීමත්, ඔවුන්ව ගැටලු පහදාදීම සඳහා සම්බන්ධ කර නොගැනීමත් මත වලංගු ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කරදීමට නොහැකි වී තිබෙන බව ද ඔහු කියා සිටියේය.


ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18 වැනිදා) මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී කැඳවූ මාධ්‍ය හමුවට එක්වෙමින් ආගමන විගමන පාලක ජෙනරාල්වරයා මේ බව අවධාරණය කළේය.

 

More News..