brand logo
විරේන්ට ඔලිම්පික් වරම්

විරේන්ට ඔලිම්පික් වරම්

19 April 2024 | නදුන්ක නෙත්සර

පැරිස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය සඳහා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටින අතර 20 හැවිරිදි විරේන් මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වීම වි⁣ශේෂත්වයකි. ඒ අනුව විරේන් මෙවර ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් ඉසව්ව සඳහා පිරිමි ඒකල අංශයෙන් තරග වැදීමට නියමිත බව ඊයේ (18 වැනිදා) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී දැනුම්දෙන ලදී.


පසුගිය කාලවකවානුව පුරා අඛණ්ඩව විදේශීය සහ දේශීය බැඩ්මින්ටන් තරගාවලි 11ක් සඳහා සහභාගී වෙමින් ප්‍රසාද ලකුණු 24,030ක් ලබාගත් විරේන් ඔලිම්පික් සඳහා ඍජු සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඔහු මේ වන විට ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි 72 වන ස්ථානයේ රැඳී සිටින අතර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ බැඩ්මින්ටන් ක්‍රීඩකයින් අතර 32 වන ස්ථානයේ පසු වේ.


මෙහිදී අදහස් දැක්වූ විරේන්, ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් ජයග්‍රහණය සඳහා සිය උපරිමය සිදු කරන බව සඳහන් කළේය. එමෙන්ම ඔහු මෙතෙක් පැමිණි ගමන සඳහා සිය දෙමාපියන්ට, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට සහ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ට ස්තූතිවන්ත විය. මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු විරේන්ට පදක්කමක් ජයග්‍රහණය සඳහා සුභාශිංසන එක් කළ අතර මෙම අවස්ථාව සඳහා විරේන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන ඔහුගේ පියා රොෂාන් නෙත්තසිංහ, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් දි සිල්වා ඇතුළු පිරිසක් සභභාගී විය.



ඡායාරූප - ඒෂාන් දසනායක

 

More News..