brand logo
පිටකොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරම්කරුවන් පිරිසක්

පිටකොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරම්කරුවන් පිරිසක්

19 April 2024 | ගයාත්‍රි ගීගනආරච්චි


කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට තොරතුරු හෙළිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට තිබී ඉකුත්දා කඩා ඉවත් කළ කඩ 21 ද එලෙස ජාවාරම්කරුවන් විසින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් බව කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත සඳහන් කරයි.


ජාවාරම්කරුවන් විසින් එම වෙළෙඳසල් වෙනත් පුද්ගලයන්ට දවස් කුලියට බදු දී තිබෙන බවට අනාවරණය වී තිබෙන බවද හෙතෙම පැවැසීය. අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු පළමු අවස්ථාවේදීම එය ඉවත් කිරීමට නගර සභාව පියවර ගන්නා බවද ඔහු කීය.


එබැවින් කොළඹ මහ නගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සංවිධානාත්මක ජාවාරම්කරුවන්ට හසු වී තම මිල මුදල් නිකරුණේ නාස්තිකර නොගන්නා ලෙසයි.


පිටකොටුවේ අනවසර වෙළඳසල් ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් වෙළෙඳසල් හිමියන්ට මුල්ම දැනුම්දීම සිදුකර ඇත්තේ ඉකුත් වසරේ දෙසැම්බර් 20 වැනිදාය. ඉන් අනතුරුව කොළඹ මහ නගර සභාව විසින් පසුගිය ජනවාරි 02 වැනිදා වෙළෙඳසල් හිමියන් සියලුම දෙනාට දින 14ක් ඇතුළත වෙළෙඳසල් ඉවත්කර ගන්නා ලෙසට ලිඛිතව දැනුම් දී ති‍බේ. ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම මෙම වෙළඳසල් හිමියන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට වාචිකව උපදෙස් ලබාදුන් බව ද කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.


නමුත් නියමිත කාලයේදී ඉන් ඉවත් නොවූ නිසා පසුගිය 16 හා 17 දෙදින තුළ මෙම අනවසර ‍‍වෙළෙඳසල් ඉවත්කිරීමට පියවර ගත් බවත් මෙම වෙළඳසල් ඉවත්කිරීමට නගර සභාවට වැයවූ මුදල ඉදිරියේදී ඔවුන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නා බවත් ඉංජීනේරුවරයා සඳහන් කළේය.


2013 වසරේදීද මෙම ස්ථානයේ ඉදිකර තිබූ අනවසර වෙළඳසල් 73ක් ඉවත්කර කොළඹ බැස්ටියන් මාවත හා ඒ අවට ප්‍රදේශය ජනතාවට ආකර්ෂණය වන ආකාරයට සංවර්ධනය කිරීමට පියවර ගත් බව කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිරිපස තිබූ වෙළඳසල් ඉවත් කිරීම පිළිබඳ දැනුවත් කිරීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි පැවැසීය.


මේ වනවිට කොළඹ මැනිං වෙළෙඳපොළේ පමණක් අනවසර වෙළඳසල් 231ක් තිබෙන බවට හඳුනාගෙන ඇතැයිද ඔහු කීය. එම වෙළෙඳසල් ඉවත් කිරීම පිළිබඳව ද කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කර එම වෙළඳසල් ඉවත්කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීම සඳහා අනුකමිටුවක් පත්කර තිබෙන බව ද අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.


මෙම වෙළෙඳසල් ඉවත් කිරීම හා පාවෙන වෙළෙඳ සංකීර්ණය ජපානයට ලබාදීම අතර කිසිඳු සම්බන්ධයක් නැති බව ද කීය.

 

More News..