brand logo

ආදරයෙන් මගේ හිත පිරිලා තියෙන්නේ

07 September 2019

සංගීතේ ටෙලි නාට්‍යයට අලුතින්ම එකතු වුණ චරිතය තමයි දසුනි. තවත් පැහැදිලි කරනව නම් අසෙනිගේ පාසල් යෙහෙළිය ඇයයි. දසුනි ගැන බොහෝ දෙනා විමසිලිමත් වුණා. ඇය තමයි නර්මදා ජයමහ. සංගීතේටආපු ඒ ඔබට නිවේදිකාවක විදිහට රූපවාහිනී මාධ්‍යයෙන් දැක පුරුදු නිවේදිකාවම තමය මේ. නර්මදාගෙ පළමු රංගනය දසුනිද? මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය වෙන්නෙ සංගීතේ ටෙලිනාට්‍යයේ දසුනිගේ චරිතයයි. නමුත් මම මීට පෙර වේදිකා නාට්‍ය නිළියක් හා නිවේදිකාවක් විදිහට කටයුතු කරලා තියෙනව. ළමා ශිල්පිනියක විදිහට රූපවාහිනියට පය තැබූ නර්මදා අද බොහෝදුර ඇවිත් නේද? රූපවාහිනියේ හුරුබුහුටි කියන ළමා වැඩසටහන ඉදිරිපත් කරමින් තමයි මම ළමා නිවේදිකාවක් වුණේ. ඊට පස්සෙ මම ස්වර්ණවාහිනියෙ ලෝක සිතියම වැඩසටහන ඉදිරිපත් කළා. ඒක නම් ළමා වැඩසටහනක් නෙවෙයි. නව යොවුන් පරපුර ඉලක්ක කරගෙන කළ වැඩසටහනක්. ඊට පස්සෙ ස්වාධීන රූපවාහිනියට සමබන්ධ වෙලා ළමා පුවත් ඉදිරිපත් කරන්නියක් විදිහටත් අවුරුද්දක් පාසා පුංචි අපේ අවුරුදු වැඩසටහනත් ඉදිරිපත් කළා. ඊට පස්සෙ මට එම නාළිකාවේම සූරිය විමන,ඩේන්ටි රස පැන වැඩසටහනත් කරන්න අවස්ථාව උදා වුණා. තවමත් මම ස්වාධීන රූපවාහිනියේ එම වැඩසටහන් කරනව. නර්මදාගේ පාසල් දිවියත් කලා කටයුතුවලින් පිරී තිබුණද මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ දොම්පෙ ප්‍රාථමික විද්‍යාලයෙන්. එම පාසලෙන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් ලකුණු 176 ක් අරගෙන කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වෙනවා. එතනදි මට ගොඩක් බාහිර වැඩවලට සම්බන්ධ වෙන්න ලැබෙනව. අට වෙනි ශ්‍රේණියෙ ඉගෙන ගනිද්දි මට අවස්ථාව ලැබෙනව නාලක ස්වර්ණතිලක මහත්මයගේ මම වෙනම මලක් වේදිකා නාට්‍යයේ රඟපාන්න. එම නිර්මාණයේ රඟපෑම වෙනුවෙන් රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හොඳම සහාය නිළිය ලෙස මම සම්මාන ලබනව. නර්මදා දෙරණ ඩ්‍රීම් සටාර් තරග වේදිකාවත් බැබළ වූවා නේද? ඊට පස්සෙ පාසල් යන අතරම මගේ අම්මගෙ හා ආච්චිගෙ කැමැත්ත හා ආසාව නිසා මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයේ ගායන අංශයෙන් තරගකාරියක් ලෙස ඉදිරිපත් වුණා. එම තරගයෙන් මම අවසන් 24 දෙනාට තේරී පත්වෙනව විතරක් නෙවෙයි මේ තරගය නිසා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මට හඳුනාගන්නත් ලැබෙනව. දසුනිගෙ චරිතය රඟපාන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද? මම දසුනිගෙ චරිතයට සම්බන්ධ වෙන්නෙ ටෙලිනාට්‍ය රූගත කිරීම ඇරඹුණාට පසුවයි. ඒ කියන්නෙ සංගීතේ ටෙලි නාට්‍යය පටන් අරන් ටික කාලයක් ගියාට පස්සෙයි සංගීතේ ටෙලි නාට්‍යයේ ඇඳුම් නිර්මාණ ශිල්පියා වන සජිත් සුල්ක්ෂණ සෙහොයුරා තමයි මට පැවසුවේ ටෙලි නාට්‍යයේ අලුත් චරිතයකට කෙනෙක් හොයනව ගිහින් බලන්න කියලා. ඒ අන්ව මම තිර පරීක්ෂණයකට ලක් කරලා මෙම චරිතයට තෝරගත්තා. මේ වැඩ අතරෙ නර්මදාගේ පාසල් අධ්‍යාපනය අවසන් කරනවද? කලා කටයුතු අතරම මම අධ්‍යාපන සමබරව කරගෙන ගියා. මගේ අරමුණ වෛද්‍යවරියත් විමයි ඒ අනුව මම ජීව විද්‍යා අංශයෙන් තමයි උසස් පෙළ හදාරන්නෙ පසුගිය වසරේ මම උසස් පෙළ විභාගයට පෙනී හිටියත් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්න ප්‍රමාණවක් ලකුණු සංඛ්‍යාවක් නොතිබුණ නිසා මෙවරත් උසස් පෙළ විභාගයට ඉදරිපත් වුණා. දසුනිගේ රංගනය අයිති සංගීතයට පමණද? සංගීතේ ටෙලි නාට්‍යයේ රඟපාන අතරෙ මට තව ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. ඒ නාට්‍ය නිර්මාණය වෙන්න තව කල් යයි. දැනට මම දිගටම සංගීතේ ටෙලි නාට්‍යයේ කටයුතු කරමින් ඉන්නව. මෙහිදී මම ස්තුතිවන්ත වෙනව ටෙලි නාට්‍යයෙ අධ්‍යක්ෂතුමා හා නිෂ්පාදකතුමියට හා සමස්ත නිෂ්පාදන කණ්ඩායමටම මම අලුත් කෙනෙක් නිසා හැමෝම මට විශාල සහායක් දක්වනව මගේ චරිතය සාර්ථක කරගන්න. ගායිකාවක ලෙස ඩ්‍රීම් ස්ටාර් හරහා තැබූ පියවරෙහි ඉදිරිය කුමක්ද? මම මගේ ගීත දෙකක් දැනට කරලා තියෙනව. උසස් පෙළ විභාගයෙන් පසුව රූප රචනාවන් සමග එම ගීත දෙක එළිදක්වන්න හිතාගෙන ඉන්නව. මේ වන විටත් මම ඇරයුම් ලැබෙන විදිහට උත්සව සාද හා ප්‍රසංගවල ගායනා කරනව. නිවේදනය පැත්තෙනුත් මම ගොඩක් වැඩ කරගෙන යනවා. නමුත් මම තවම අධ්‍යාපනය ලබන නිසා මේ කිසිවක් නිශ්චිත වෘත්තියක් කරගෙන නැහැ. ඔබේ ආදරය හිමි කාටද? මං හිතනව මට ලැබෙන්න ඕනෑ හැම දෙයක්ම මගේ අම්මයි තාත්තයි මට ලබාදෙනව. මට ආදරේ අඩුවක් නැහැ. මගේ දෙමවුපියො නෑදෑයො මේ හැම කෙනෙක්ම මට ආදරය කරනව. ඔබේ පවුලේ තොරතුරු මොනවද? මගේ අම්මා ආරක්ෂක අමාත්‍යංශයේ සේවය කරන්නෙ. මගේ තාත්තා යුද හමුදා නිලධාරියෙක් දැන් ඔහු විශ්‍රාම ලබල ඉන්නෙ. දවසෙන් දවස වැඩිවන රසික ප්‍රතිචාර විඳින්නෙ කෙසේද? මම හිතුවෙ නැහැ මේ තරම් පිරිසක් මාව දන්නව කියලා. මම දන්නෙ නැහැ මේ චරිතය ඉදිරියට කොහොම ලියවෙයිද කියලා. ඒත් තව වෙනස්කම් කිහිපයක් සිදුවෙයි කියලා මම හිතනව. ගොඩක් අය කතා කරනව. සුබ පතනව රසික රසිකාවියන්ගෙන් ලබෙන ආදරය දෙමවුපියන්ගෙන් ලැබෙන ආදරයට වඩා වෙනස් ආදරයක්. මම ගොඩක් ඒ ආදරයටත් ආසයි. සුරංජි පතිරණ ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්
 

More News..