brand logo

පයින් ගියා... ත්‍රීවීලර් එකේ ගියා... බස් එකේ ගියා... චන්දිමාල් මෙතෙන්ට ආවේ දුක් විඳලා

22 July 2019

ඔබ කවුද? මගේ සම්පූර්ණ නම ජයසිංහ ආරච්චිලාගේ චන්දිමාල් ඔබේ වෘත්තිය මොකක්ද? ඔබ සල්ලි හම්බ කරන්නේ කොහොමද? මම රූපලාවණ්‍ය ශිල්පියෙක්. මනාලියන් ඇන්දවීම හා මේක් අප් කිරීම මගේ ප්‍රධාන වෘත්තිය. ඔබ කෝටිපතියෙක්ද? ඔව්. දැන් මට සල්ලි තියෙනවා. කොහොමද මෙච්චර ඉක්මනට කෝටිපතියෙක් වුණේ නීතිවිරෝධී වැඩ කළාද? ඉක්මනට සල්ලි ගෙව්වේ නැහැ. අවුරුදු 15ක් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරලා දුක් මහන්සියෙන් තමා සල්ලි හෙව්වේ. උපතින් සල්ලිකාරයෙක්ද? නැහැ. බොහෝම දුප්පත් පවුලක කොල්ලෙක්. සෑහෙන්න දුක් විඳලා තමා මෙතෙන්ට ආවේ. මගේ අම්මගෙන් ඇහුවොත් කියයි අපි කොච්චර දුක් වින්දද කියලා. මමයි අක්කයි අම්මයි තාත්තයි පවුලේ උන්නේ. තාත්තා කෑම කඩයක් කළේ. මගේ අම්මා පාන්දර දෙකට නැගිටලා කෑම හදන්න පටන් ගන්නේ. තාත්තා මුළු දවසම කඩේ හිටගෙන ඉන්නේ. මටයි අක්කටයි උගන්වන්න ඒ දෙන්නා නොවින්ද දුකක් නැහැ. ඔබේ වයස කියන්න කැමැතිද? මට අවුරුදු 34යි. අධ්‍යාපනය ලැබුවේ? ශාන්ත තෝමස් විද්‍යාලයේ ඔබ ඉන්නේ කොහෙද? පිටකෝට්ටේ. කොහොමද ක්ෂේත්‍රයට එන්නේ? හරිම අහම්බෙන්. මගේ අක්කගේ වෙඩින් එකට අන්දනවා දැක්කාම මට හිතුණා රූපලාවණ්‍යවේදියෙක් වෙන්න. ඒ මොහොතේ හිතට ආපු කැමැත්ත මගේ මුළු අනාගතයම වුණා. එතකොට මගේ වයස අවුරුදු දහසයයි. වෙන දෙයක් කරන්න හිතුණේ නැද්ද? නැහැ. මම කාටවත් සෙකන්ඩ් වෙන්න කැමැති නැහැ. ඒක නිසා මට ගැළපෙන්නේ මගේම වෘත්තියක්. මම හිතන්නේ මට ගැළපෙන්නේ මේක. කොහෙන්ද ඔබ මතුවෙන්නේ? සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනේ මේක් අප් කරන්නේ මම. එතැන්දි තමා මට නළු නිළියෝ මුණ ගැසෙන්නේ. ප්‍රබල චරිත ඇසුරු කරන්න ලැබෙන්නේ. මම හිතන්නේ මම ඉස්සරහට එන්නේ එතැනින්. සාමාන්‍ය මේක් අප් ආටිස් කෙනෙක් හැටියට. ඔබ ජනප්‍රිය වෙන්නේ? මම මුලින්ම කරන්නේ හිමාලි සයුරංගිගේ වෙඩින් එක. කිසිම කෙනෙක් මාව දන්නේ නැති කාලේ හිමාලි එයාගේ වෙඩින් එක මට දෙනවා. අදටත් මම හිමාලිට ගරු කරනවා. මාව විශ්වාස කළාට. කොච්චර මනමාලියෝ ඔබේ අතින් හැඩ වෙලා තියෙනවද? දසදහසකට වැඩියි. ඒ අතරෙ ලංකාවේ ජනප්‍රිය මංගල උත්සව විශාල ප්‍රමාණයක් කළා. හෙට අනිද්දා අනූෂා දමයන්තිගෙ වෙඩින් එක කරනවා. ඔබ සතුටින්ද ඉන්නේ? උපරිමයෙන්. නමුත් මගේ තාත්තා දැනට අවුරුදු තුනකට කලින් නැති වුණා. ඒක ගැන මට දුකයි. මොකද මගේ අම්මයි තාත්තයි මම වෙනුවෙන් ගොඩාක් දුක් වින්දා. එයාල පරණ ඇඳුම් ඇඳලා මට අලුත් ඇඳුම් අරගෙන දුන්නා. අපිට රස කෑම දීලා එයාල බඩගින්නේ උන්නා. අපිව ත්‍රීවීලර්වල ඇරලා එයාල පයින් ගියා. මට මගේ තාත්තට සලකන්න තාත්තා ජීවතුන් අතර නැහැ. මගේ අම්මට මම උපරිමයෙන් සලකනවා. ඔබගේ රූපලාවණ්‍යාගාරය කොහෙද තියෙන්නෙ? මට ලොකු රූපලාවණ්‍යාගාර නැහැ. ඉස්සර තිබුණෙත් නැහැ. අදත් නැහැ. මගේ කාමරේ තමා මම මුලින්ම වැඩ පටන් ගත්තේ. කාමරයේ තිබුණේ එක පුටුවයි. මම නිදාගන්න ඇඳ පාවිච්චි කළේ. හැබැයි මම වැඩේ හරියට කළා. අදටත් එහෙමයි. චන්දිමාල්ගේ වැඩ සුපිරි.. ඉන්න තැන ප්‍රශ්නයක් කර ගන්න එපා. කවුද ඔබට මෙතෙන්ට එන්න උදව් කළේ? මම මගේ තනි මහන්සියෙන් ආවේ. ප්‍රවීණයෝ කළේ අපේ ගමන නතර කරන්න උත්සාහ කරපු එක විතරයි. මම තරගවලට ගියාට එකෙන්ම මාව කපනවා. ජජ් බෝඩ් එකේ ඉන්න අයගේ ගෝලයෝ ඉස්සරහට ගත්තා. ප්‍රවීණයෝ සැලකුවේ ඔහොම අද මම විනිශ්චය මණ්ඩලයක ඉන්නකොට මට මේවා මතක් වෙනවා. හැම අවස්ථාවකම සාධාරණ තීන්දුවක් දෙන්න මම උත්සාහ කරන්නේ මට වෙච්ච සිත් රිදුම් වෙන කාටවත්ම නොලැබිය යුතු නිසා. ඔබ මුලින්ම මුදලක් උපයපු දවස මතකද? ඩාන්සින් ස්ටාර් මේක් අප් කළාට දවසට රුපියල් 3000ක් දෙනවා. උදේ පාන්දර ඉඳන් රෑ 12 වෙනකම් හිටගෙන ඉඳල කකුල් කැක්කුම. කකුල්වල නහර ඉදිමිලා අමාරුයි. උදේම බෙහෙත් ගන්නවා. ආයෙත් වැඩ කරනවා. මෙතෙන්ට එන්න වින්ද දුක මමයි දන්නේ. කවුරුත්ම උදව් කළේ නැද්ද? නැහැ. මම ළඟට ආපු සේවාදායකයන්ගෙන් ලැබුණ මුදල තමා මාව නැගිට්ටුවේ. මට මතකයි එක ප්‍රවීණයෙක්ගෙන් මම මේක් අප් සෙට් එකක් ඉල්ලලා මාව එළවගත්තා. ඔබ දන්නවද බොහෝ අය අතරේ ඔබ ජනප්‍රිය කොහොමද කියලා? ලංකාවේ ලොකුම පාටිය ගත්තේ මම කියලා නේද උපන්දිනේට කෝටි ගණන් සල්ලි නාස්ති කරනවා කියලා නේද? මේක දැක්කද? බොරු සියයට සියයක් බොරු. මම සල්ලි නාස්ති කරන කෙනෙක් නෙමේ. මම දුක්විඳලා ආපු කෙනෙක්. සල්ලිවල අගය මම දන්නවා. මොනවද මේ කියන කතා? කවුරුත් මගෙන් ඇත්ත අහලා නැහැ. ගොසිප්වල යන දේවල් ලොකු කරගෙන කතා කරනවා. ඉස්සර ඉඳන් මම උපන්දිනය සැමරුවා. මම රට පිළිගත්ත රූපලාවණ්‍ය ශිල්පියෙක්. මගේ ඇඳුමේ ඉඳන් හැම දේකටම අනුග්‍රකහයෙක් ඉන්නවා. මට වියදම් වෙන්නේ හෝටලේට යන ගාන විතරයි. ඒකෙනුත් ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. සාමාන්‍ය මුදලක් තමා මට වියදම් වෙන්නේ. ඇයි එහෙනම් ඔබේ උත්සවය ගැන මෙච්චර කතා කරන්නේ? ඇයි මෙහෙම කලාකරුවෝ ගෙනත් කන්න බොන්න දෙන්නේ? කලාකාරයෝ ගොඩක් ආවා. මට අවුරුද්ද පුරාම වැඩ නිසා කාගෙවත් උත්සවයකට යන්න වෙන්නේ නැහැ. ඒක නිසා මට හිතවත් අයව මගේ උපන්දිනේට ගෙන්නලා මට පුළුවන් උපරිමයෙන් මම සලකනවා. මම ලෝභ නැහැ. අනිත් අයගේ සතුට තමා මගේ සතුට. මේක නාස්තියක් නෙමේද? දෙවියනේ මම විතරද උපන්දින සමරන්නේ. අනික මගේ උත්සවේ දැවැන්ත වුණාට හුඟාක් දේවල් නොමිලේ ලැබෙන්නේ. මට වඩා වියදම් කරලා කී දෙනෙක් උත්සව කරනවද? දේශපාලනඥයින්ගේ පුත්තු කොච්චර ලොකු පාටි ගන්නවද? බිස්නස්කාරයෝ උපන්දින පාටියට ගහන කාඩ් එකට වියදම් කරනවා මම පාටියට වියදම් කරන මුදල. මම පුංචි මිනිහෙක් නිසාද මට මෙහෙම කතා හදන්නේ. අනික මේ මම පගා ගහලා ගත්ත සල්ලි නෙවේ. කොන්ද කැඩෙනකම් හිටගෙන ඉඳලා හොයන සල්ලි. මම පින් දහම් කොච්චර කරනවද? කාට හරි බත් පැකට් එකක් දීලා ෆේස් බුක් දාන උණක් මට නැහැ. මේ පාටියට කලාකාරයෝ එන නිසා ලොකු ජනප්‍රියත්වයක් ලැබෙනවා. හැබැයි ජනප්‍රිය නැතිව මම ගොඩක් දේවල් කරනවා. කවුරුත් නොදන්න නිසා ඒවා කරළියට එන්නේ නැහැ. ඔබ මත්පැන් බොනවද? කටේ තියලා නැහැ. කිසිම වුවමනාවක් නැහැ. ඇත්තටම මම දියුණු වුණේ ඒක නිසා. මම ආගමට දහමට ලැදිව ජීවත් වෙනවා. අන්තිමට මම අරගෙන යන්නේ මම කරන දේවල් තමා. ඇයි මෙතරම් ඔබව විවේචනය වෙන්නේ? මම පොඩි මිනිහෙක් නිසා. දුප්පත් අම්මා කෙනෙක්ගේ දරුවෙක් නිසා. ඔබ දුකෙන්ද ඔය කතා කරන්නෙ? මගේ ගෙදරට ඇවිත් බලන්න. ඒක ගෙයක් නෙමේ. පන්සලක් කියලා ඔබට හිතෙයි. උදේ බුද්ධ පූජාව තියලා වැඩ පටන් ගන්නේ. පන්සලක බුදුන්ට කරන සත්කාරය මම ගෙදර කරනවා. මම මට ප්‍රශ්න නැහැ. මට හොඳට නින්ද යනවා. අනිත් අය නොනිදා මට මඩ ගහනවා. කවුද දිනුම්... දිගටම මෙහෙම පාටි දානවද? නැහැ. ඉතා ඉක්මනින්ම මේ හැම දෙයක්ම නවතිනවා. කසාදය ඇයි ප්‍රමාද? මට හරියන කෙනා මුණ ගැසුණ ගමන් බඳිනවා. නමුත් සමාජය කියන්නේ වෙන දෙයක්? මට සමාජය හදන්න බැහැ. මටත් පුළුවන් දැන් ලංකාවේ ඉන්න ඉහළ තැනක කෙල්ලෙක් බඳින්න. හැබැයි අනිද්දාට ඩි​වෝස් වෙන්න නෙමේ මම බඳින්නේ. කසාද නොබැඳපු එකම පිරිමියා මම නම් එතැන ප්‍රශ්නයක් තියෙනවා. මම කඩවසම් කොල්ලෙක්. කෙල්ලෝ ඕන තරම් පස්සෙන් එනවා. හැබැයි මම කැමැති කෙනකා මගේ ඉස්සරහට එන්න ඕන. එදාට ඔය කතා කියන හැමෝටම මම වෙඩින් එක කියනවා. ඔබ කේන්තියෙන්ද කතා කරන්නේ? නැහැ. අවබෝධයෙන්. ඔය ආදරෙන් තුරුළු වෙලා සෙල්ෆි ගහන කපල් සතුටින් නෙමේ ඉන්නේ. ලෝකෙට පේන්න ගෑනියෙක් ගේන්න මට ඕනේ නැහැ. මාවයි මගේ අම්මවයි තේරෙන කෙනෙක් මට ඕන. ආදරේ විවාහය කියන්නේ කාටවත් පේන්න කරන දෙයක් නෙමේ. ඒක මගේ පපුවට දැනෙන්න ඕන. ඔබ අවංකවම කතා කරනවා නම් ඔබ ජයග්‍රහාකයෙක් කියා මට හිතනවා ? මම ජයග්‍රාහකයෙක්. පයින් ගියා. ත්‍රීවීලර් එකේ ගියා. බස් එකේ ගියා. අද ප්‍රාඩෝ එකේ යනවා. ගෙවල් හැදුවා. නමුත් අම්මා ළඟට වෙලා තාම පරණ ගෙදර ඉන්නවා. ලොකු සැලෝන් නැහැ. හැබැයි රට හොල්ලන වැඩ කරනවා. බොරු සෝබන නැහැ. ෂෝ නැහැ. මම තාමත් චන්දිමාල්මයි. සටහන ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර
 

More News..