brand logo

එයා තමයි මගේ සිංහයා

30 June 2019

වික්ටර් රත්නායක නම් අසහාය සංගීතවේදියා කාලයක් තනිකමින් ගතකළ ජීවිතේ නිමා කරමින් මීට වසර 10කට පෙර දි හෂිනි නිලක්ෂිණි තමන්ගෙ බිරිඳ ලෙස තොරාගෙන තිබුණා. වසර දෙක හමාරක කාලයකට පෙර වික්ටර් හෂිනි නීත්‍යානුකූලව විවාහ වුණා. ඇතැම් අයගෙ ගැරහුම් ඇනුම් පද කිසිවක් සැලකිල්ලට නොගෙන සතුටම ශේෂකරගත් වික්ටර් හෂිනි කැදැල්ලට අප ගොඩ වුණා. ආදරණීය පිළිගැනීම් ආගන්තුක සත්කාර මැද මේ යුවතිපතීන්ගේ ජීවිතය ගැන අප කතා බහ කළා. ඉතින් හෂිනි කොහොමද මේ ගෙදර ජීවිතේ “ මමත් වික්ටත් අප්‍රමාණ සතුටකින් ඉන්නවා. වික්ටව ආදරෙන් පරිස්සමින් බලාගන්න එක මගේ වගකීමනෙ මම ඒක මගේ උපරිමයෙන් කරනවා.” දැන් ඔබ සහ වික්ටර් ස්වාමියා සහ බිරිඳ ගෙදර එදිනෙදා වැඩ එහෙම බෙදා හදාගෙන කරගන්නව ඇති.? “ ඇත්තෙන්ම අපේ ගෙදර වැඩට සේවකයෝ නෑ. ඉතින් මම වැඩකරද්දි එයා උදව්වෙන්න හදනවා. මම එයාට මහන්සි වෙන්න දෙන්නෙ නෑ. එයා අපේ මේ සුරතල් මාළුන්ට කෑම දානවා. උදේ ව්‍යායාමයට ඇවිදිනවා. මම එයාව පුළුවන් තරම් විවේකෙන් තියෙනවා. මම දන්නවා වික්ටත් සතුටින් ඉන්නෙ.” වික්ටර් රත්නායකගෙ මොනවද සාමාන්‍ය ජීවිතේ විශේෂ පුරුදු.? “එයා හුඟක් පිරිසිදුකම අගයන පිළිවෙළට ඉන්න කෙනෙක්. මහේන්ද්‍ර පැස්කුවෙල් අයියා සැරයක් කියලා තිබ්බා එයා දැකපු වැඩියෙන්ම දත් මදින කෙනා වික්ටර් කියලා. අනික එයා හරිම පිළිවෙළයි. මම වුණත් පිළිවෙළ වඩා හොඳින් ඉගෙන ගත්තෙ එයාගෙන්. ඔයාම බලන්නකො මේ හැමතැනම තියෙන පා පිස්සක්වත් ටයිල් එකේ හරි ඉරට කෙළින් තියෙනවා. එතරම් පිළිවෙළයි.” වික්ටර් එක්ක විවාහ වෙන තීන්දුවෙන් පස්සෙ ඒකට ලැබුණ ප්‍රතිචාර කොහොමද..? “අපොයි අපට මොනවද නොකිව්වෙ. හරියට අවලාද වින්දා. ඒත් වික්ටත් මාත් ඒකමතික තීන්දුවක හිටියා. අවුරුදු 8ක පමණ ඇසුරකින් පස්සෙ අපි නීත්‍යානුකූලව විවාහ වුණා. ගැරහුම් උපේක්ෂාවෙන් දරාගන්න මා සාහිත්‍ය ඇසුරේ සිටීම හයියක් වුණා. වික්ටත් උසස් රසයක් තියෙන බුද්ධිමතෙක් නෙ. එයාත් එක්ක ඕන දෙයක් කතා කරලා බෙදාහදා ගන්න හැකි නිසාත් මට ඉවසන්න හැකි වුණා.” කොහොමද හෂිනි වික්ටර් පෙම් කතාව පටන් ගන්නේ ? “පොඩි කාලෙ ඉඳලාම අපේ ගෙදරට වික්ටර් කියන්නෙ පූජනීය ගායකයෙක්. ඉස්සර පුංචිම කාලෙ වික්ටර් රූපවාහිනියෙ ගායිකාවක් එක්ක යුග ගී කියද්දි ටීවී එක වහනවාලු මම. සිංහයෙක් වගෙ ගායකයා කියලයි මම එයාට කියල තියෙන්නෙ. 2004 අවුරුද්දෙ සා ප්‍රසංගයෙදි කතා බහ කරලා දැන අඳුනාගත් ඇසුර තමයි එකම කැදැල්ලකට එන්න මග වුණේ. දැන් එයා මගේ සිංහයා තමයි.” හෂිනිගෙ ගෙදරින් මේ සම්බන්ධය දැන ගත්තම මොකද කිව්වෙ.? “මට ඉතින් දස අතේ කරුණු කිව්වා. නොගැළපීම් ගැන වයස් පරතරය ගැන මේවා නිසා විරුද්ධ වෙලා හිටියේ. ඇයි ඉතින් මම 1986. වික්ටර් 1942. මම ඉතින් ස්තිර මතයක හිටියා. දැන්නම් එයාල අපව තේරුම් අරං තියෙන්නෙ. මටම පුදුමයි මේ තරම් නින්දා අපහාස විඳගෙන ඉවසගෙන හිටියෙ මම ම ද කියලා. ඒත් වික්ටර් මාවත් මම වික්ටවත් තනි කළේ නෑ. එයා මට මහා හයියක් වෙලා හිටියා.” කවද හරි වික්ටර් රත්නායකට තියෙන වස්තු සම්පත් සියල්ල අහිමි වුණොත් හෂිනි වික්ටර් එක්ක ඉඳිවීද..? අනිවාර්යෙන්ම මම වික්ටර් එක්ක ඉන්නවා. මම දැන් මම නෙවෙයි වික්ටගෙම කොටසක්. වික්ටර් ටිකක් තද කේන්ති යන කෙනෙක් කියා සමහරු හිතන්නෙ. නෑ ඒ මවා ගත්ත වික්ටර්. ඇත්ත වික්ටර් හරිම සන්සුන් බුද්ධිමත් අහිංසක ප්‍රේමණීය කෙනෙක්. මම ඒ ප්‍රේමණීය මිනිසා අතැර තත්පරයක්වත් ඉන්නෙ නෑ. මට හිතෙනවා වික්ටර් ව රැක බලා ගැනීම මට සාංසාරිකව පැවරුණ වගකීමක් කියලා. ආදරය ගෞරවය එක්ක මම එයා එක්කම ඉන්නවා.” කොහොමද නිවසේ වැඩ, දවසේ කාලය ගත වෙන්නෙ.? “අපි උදේ 5ට විතර අවධිවනවා.මම ඊට පොඩ්ඩක් කලින්. ඊට පස්සෙ වික්ටට කැඳ එකක් හදනවා. උදේ ගෙවල් අස්කරලා උයලා පිහලා මිදුල් අතු පතු ගාලා හරිම සාමාන්‍ය විදියට දවස පටන් ගන්නවා. එයා උදේට බත් කන්නෙ නෑ. ඉඳි ආප්ප පිට්ටු වගේ දෙයක් තමයි හදන්නෙ. කෑම කාලා අපි බොහෝ විට පොතක් කියවනවා. රුසියානු පරිවර්තනයක් වගේ එකක්. නැත්නම් හොඳ චිත්‍රපටයක් තිබ්නොත් DVD එකෙන් බලනවා. නැත්නම් වික්ටර් ආසයි ඉන්දියන් කැලැසිකල් මියුසික්වලට. එහෙම සීඩී එකක් අහනවා. උදේ 10ට වගේ ෆෘට් ජූස් එකක් වික්ටර්ට හදා දෙනවා. දවල්ට නම් බත් වික්ටර් දවල් කෑමෙන් පස්සෙ පැයක් විතර නිදා ගන්නවා. අවදිවෙලා තේ එකක් බීලා ආයෙත් නිර්මාණය රසවිඳිමින් කරනවා. සවස ව්‍යායාමයට ඇවිදිනවා. දෙන්න එක්කම මල් පහන් පූජා කරලා ගාතා කියලා බුදුන් වඳිනවා.. රෑටත් සැහැල්ලු ආහාරයක් ගන්නෙ. බත් කන්නෙ නෑ. බොහෝවිට සුප් එකක්. රෑ 10-30 වගෙ වෙනකොට දවසේ කටයුතු නිමා වෙනවා.මම ඉතින් එයාව හොඳින් රැක බලා ගන්නවා. එදා ගත්ත තීන්දුව ගැන අද තෘප්තිමත්ද.. “ඔව්. ඉතාම තෘප්තිමත්. බොහෝ දෙනා හිතනවාට වඩා වික්ටර් විවෘත සරල මනුස්සයෙක්. මහා සීරියස් මනුස්සයෙක් නෙවෙයි. විශ්ව කෝෂයක් වගේ කෙනෙක්. වික්ටර් මටත් මම වික්ටටත් ආදරෙන් ඉන්නවා.එයා වගේ මහා ගසක් මුල මට තියෙන සැනසිල්ල මම විඳිනවා.” සිංදු අහනවා,පොත් කියවනවට අමතවර වික්ටර් කැරම් ගහන්න කැමතියි කියන්නෙ ඇත්තද.? “ඔව්නේ.. වික්ටර් කැරම් ටෙක්නික් එකටම ගහන්න දන්නවා. මමනම් එහෙම දන්නෙ නෑ.මගෙ කැරම් කණා.. ඉතින් වික්ටර් දිනනවා. අපේ සමීප පවුල්වල අය ආවම වික්ටර් ඕමි ගහන්න හරි කැමතියි. ඉඳ හිට 304 සෙල්ලම් කරනවා. පැක් එකේ සෙල්ලම්වලටත් එයා කැමතියි. “ මා හෂිනි එක්ක කතාව නවතා වික්ටර් දෙස හැරී සාකච්ඡාව ඇරඹීමි. කරුණාරත්න අබේසේකරයන් ඔබට මුලින්ම ලිව්ව ගීතය මතකනම් ඒක ටිකක් ගයන්න පුළුවන්ද..? “මතකයි පුළුවන්. (සර්පිනාව වයමින් ගයයි) “පොළොව දෙදරවන ගිම්හානේ - ගතම ගිමන දෙන මද්දහනේ ඇස්පිය හෙළනට ලැගුම් පතන්නෙමි- පිවිතුරු හදවත් මල් යහනේ චන්චල අඳුරු ලොවේ…//” හෂිනි ළඟදි ඒකද උනේ..? “(සිනාසෙමින්) ඔව්.. ඒ ගීතයත් ආදේශ කරන්න පුළුවන් කොහොම වුණත් හෂිනි මට දක්වන ආදරය ගෞරවය රැකවරණය ඊටත් වඩා කියන්න පුළුවන්.” මගේ සඳ ඇවිත් ගීතය කළේ හෂිනිටද..? “අනේ නෑ. ඒක වෙන ලස්සන ගීතයක් නේ. හැබැයි රසික ජනයා ඒක එහෙම කියනවා කියලා මට ඇහිලා තියෙනවා.කෙනෙක් එහෙම හිතුවට කමක් නෑ.” හෂිනිව ඔබට කොහොමද දැනෙන්නෙ? “ ඈ මට ඉතා ගුණ යහපත් සසර පිනෙන් මා ලද බිරිඳක්. වෙලාවකට මවක් සොයුරියක් යෙහෙළියක් දාසියක් ඒවා එකක්වත් බොරු නොවේ. ජයන්තම බලන්නකො මේ ගෙදර එක වැලි කැටයක් දූවිල්ලක් නෑ. උදේ එළිවුණ වෙලාවේ සිට නහිනවා.” ඉතින් ඔබට හැකියිනේ සේවිකාවක් ගන්න.? “මගේ වැඩ කිසිවක් අන් අයෙක් කරනවට ඈ කැමති නෑ. මගේ කොන්ඩේ පීරන එක. නියපොතු කපන එක. ඇඳුම් පැලඳුම් පිරිසිදු කිරීම් සියල්ල ඇයම කරනවා. මා ඇයට කියනවා දැන් ඇති කියා. එහෙත් ඈ මා මත්තේම වෙහෙසෙනවා. ඒක සසර බැඳීමක් කියායි මාත් හිතන්නෙ.” දැන් ඔබ ඉන්නේ ආදරය කරන්න හැකි වයසකද..? “ආදරය කියන එක ජයන්ත හුදු වචන මාත්‍රයක් නෙවෙයි. කාටද ආදරය අනවශ්‍යය. ආදරයෙන් තොරව ජීවත්වෙන්න පුළුවන් කාටද..? එක් අයෙක් ගත්තොත් කී දෙනෙකුට මම ඔයාට ආදරෙයි කියා ඇද්ද..? ඒ වචන මාත්‍රික ආදරය නොවේ. මා විඳින මා ලබන මා පුදන ආදරය. ඒක ආධ්‍යාත්මයත් එක්ක බැඳුණු හැඟීමක්.” වික්ටයි හෂිනියි රණ්ඩුවෙලා තියෙනවද..? “ඔව් රණ්ඩුවෙලා තියෙනව. ඒක මේ අතින් පයින් හැලි වලන්වලින් පිහියෙන් පොරොවෙන් නොවේ. මතවලින්. එහෙම වෙලාවට දෙන්නගෙන් එක්කෙනෙක් නිහඬ වෙනවා. නිවුනම හිමින් ඒක නිවැරදි කරගන්නව.” මත ගැටුමකදි වැඩිපුරම නිහඬව ඉන්නෙ හෂිනිද..? “(සිනාසෙමින්) මමම තමයි ඉතින්”ඔයා අනිවාර්යෙන් ලියන්න හෂිනිගේ විශේෂ ගුණාංග තියෙනවා. මම ගැන මටත් වඩා සැලකිලිමත් වෙමින් මා රැක බලා ගැනීම. දැන් බලන්නකො මම මේ අවුරුදු 2කට අලුත් ගීත 40ක් කරලා තියෙනවා. නිර්මාණකරුවෙක් මානසිකව නිදහසේ ඉන්නවා කියන්නෙ හොඳ නිර්මාණ රැසක් බිහිවෙන එක. ඒ නිර්මාණයන්ගෙ ගෞරවය හෂිනිටත් අයිතියි. (හෂිනි වික්ටර් රත්නායකයන්ට දොඩම් පානයක් ගෙනවිත් පිළිගන්වයි) මේ බලන්න මේ ඔයා ඉන්න හින්ද නොවේ මගේ පෝෂණ අවශ්‍යතා ඇය ඉතාම ආදරයෙන් සැලකිල්ලෙන් කරනව.” එච්චර ආදරෙන් ඉන්න තරුණ බිරිඳට සිංදුවක් කළේ නැත්තෙ ඇයි.? “කළා කළා ඒ ගීතය හෂිනිට මම කිව්වට ලෝකයේ ඕනෑම ගුණ යහපත් බිරිඳකට ඒක ආදේශ කරන්න පුළුවන්. ඉන්ද්‍රාණි අලුත්දුරගේ ලිව්වේ මගේ සංගීතයයි ගැයුමයි.ඔන්න අහන්නකෝ.( සර්පිනාව වයා ඔහු ගයයි) “ජීවිතේ ගිමන නිවනා විසල් තුරු උයන - අවපසේ අහස් ගැබ උදා වූ තුරු ලකුණ දුක් සුසුම් දරාගෙන මවක් සේ ළඟ හිඳින - සංසාර ගත මගේ ප්‍රේමයේ අස්වැන්න” ජයන්ත සුබසිංහ
 

More News..