brand logo

හෙමින් ගමනක් යන්න සිහින දකින මධුශානී

30 June 2019

ඇය අලුතින් පුංචි තිරයට පැමිණි යුවතියක්. නමුත් ලැබුණ සීමිත චරිත තුළින් ඇය තම දක්ෂතාව වර්ධනය කර ගත්තා. මෝස්තර නිරූපණය හරහා පුංචි තිරයට පැමිණි ඇය නුදුරේම සිනමාපටයකින් ඔබ හමුවෙනවා. මධුශානි සකුන්තලාව මුණ ගැසෙමු. කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ? ඉස්කෝලේ යන කාලේ ඉඳලම කලාවට කැමැතියි. ඉස්කෝලේ ඩ්‍රාමා කළා. මගේ පාසල කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය. ඉස්කෝලේ යනකොට මොනවටද සම්බන්ධ වුණේ? ඉස්කෝලේ යන දවස්වල ඩ්‍රාමාවලටයි නැටුම්වලටයි තමා සම්බන්ධ වෙලා උන්නේ. කුලසිරි බුදවත්ත සර්ගෙන් නර්තනය ඉගෙන ගත්තා. ඊට පස්සේ මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ නාට්‍ය හා රංග කලාව හදාරනවා. හදවතේ තිබුණේ නිළියක් වෙන සිහිනයකට තමයි. කොහොමද සිහිනයට ළං වුණේ ? දණ්කුඩ බණ්ඩා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ ජීවිතේ ලොකු අවස්ථාවක්. මේ දවස්වල නෝ පාර්කින් ටෙලිනාට්‍යයේ රඟපෑම් සඳහා දායක වෙනවා. කොහොම හරි අවස්ථාව ලැබුණ තැනින් ඉස්සරහට යන්න ඕන. ඔබ දායක වුණ අනෙකුත් නිර්මාණ මොනවද? ෂර්ලි පී. දෙලංකාවලගේ හිතුවක්කාරයා කියන නාට්‍යයේ රඟපෑවා. සල් සපුනා ටෙලිනාට්‍යයේ රඟපාන්නත් අවස්ථාවක් ලැබුණා. මීට අමතරව ​කොළඹ අහස, අනාවරණය වගේ නාට්‍ය සඳහා දායක වුණා. කවුද ඔබට උදව් කළේ? ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ උදව් කළා. බුද්ධදාස විතානාරච්චි, ශ්‍රියානි අමරසේන වගේ අයගෙන් ලැබුණ සහයෝගය කවදාවත් අමතක කරන්න බැහැ. ගෙදරින් කැමැතිද ඔබ මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යනවට? මගේ අම්මා තමා මගේ පස්සෙන් ඉන්නේ. එයාලා කැමැතියි මම ක්ෂේත්‍රයේ ඉදිරියට යනවට. මම යන හැම තැනකම එයා මගේ පස්සෙන්​ එනවා. නැත්නම් හැම වෙලාවෙම මගේ ගමනට ආශිර්වාද කරනවා. රංගනයට විතරද කැමැති? නැහැ. මෝස්තර නිරූපණයටත් ලොකු කැමැත්තක් තියෙනවා. මම රොසෑන් ඩයස් යටතේ මෝස්තර නිරූපණය කළා. ඒ හැම දෙයක්ම මගේ ගමනට ලොකු සහායක් වෙලා තියෙනවා. මේ දවස්වල විකාශය වෙන නාට්‍ය මොනවද? දණ්කුඩ බණ්ඩා නැවත විකාශයක් යනවා. දෙරණ නාළිකාවේ විකාශය වෙන කන්තෝරු මෝරු නාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා. විවේකයක් ලැබුණම මොකද කරන්නේ​? පොත් කියවනවා. ආගමට දහමට ලැදි පොත්වලට තමයි හුඟක් කැමැති. බොහෝ වැරදි නිවැරදිව අවබෝධ කරගන්න මේ පොත් ප්‍රයෝජනවත්. කොහොමද ඉදිරි කටයුතු? කලබලයක් නැතිව ​හොඳ නිර්මාණයකට දායක වෙලා යහපත් ගමනක් යන්න ඕන. ඉදිරියේදී ප්‍රධාන චරිතයක් තුළින් ප්‍රේක්ෂකයන් අතරට එනවා.  
 

More News..