brand logo

ජීවිතේ තියෙන ලොකුම ජයග්‍රහණය ලැබුවා - තීක්ෂණ අනුරාධ

12 March 2019

තීක්ෂණ අනුරාධ කියන්නෙ සුපිරි තරු කිරුළ නොපැලඳූවත් සුපිරි තරුවක්. ඔහුට ගායනයේ වාසනාව උදාකරන සුපිරි තරු තරගයෙන් නොනැවතී වාසනාව හොයා ගිය තීක්ෂණ අද ලංකාවේ ගායකයන් අතර සුපිරි තරුවක් වී හමාරයි. මේ තරුව දෙස නෙත් නොහෙලා බලා හිඳින රසික රසිකාවියන් ඔහුගේ දිවියේ සිදුවුණ අලුත්ම වෙනස්කම් ටික අරගෙන එන්න හිතාගෙන අපි ඔහුව හමුවට ගියා ජිවිතේ ටිකක් අලුත් උනා නෙද? ඔව් අපි අලුත් ගෙදරකට පදිංචියට ගියා. ඒක තමයි මේ දවස්වල ජීවිතේ තියෙන ලොකුම ජයග්‍රහණය. ඒ හැරුණම අලුත් ගීත කිහිපයක්ම එළිදැක්වූවා. ඒවායේ ප්‍රතිචාර ලබමින් ඉන්නෙ. ඒ හැරුණම හෙට අනිද්දාම අලුත් ගීතයක් එළි දක්වන්න නියමිතයි. එය ලතා වල්පොල මහත්මිය සමග ගැයූ යුග ගීතයක්. අලුත් ගෙදර මහරගම හදාගත්තෙ විශේෂ හේතුවක් නිසාද? මගේ උපන්ගම ගාල්ල. මම 2004 කොළඹට එනව. මගේ අධ්‍යාපනයට විජයරාමෙ ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයට. මම ඇතුළු වෙන්නෙ යන්න එන්න පහසුවට කාලයක් තිස්සෙ මහරගම තමයි නවාතැන් අරගෙන හිටියෙ. ඒ නිසා මහරගම අපිට හුරුවෙලා තිබුණා. ඔය හේතුව මත අපේ අලුත් ගෙදරත් මහරගමම හදාගන්න අපි තිරණය කළා. අලුත් ගෙදර සැලසුම් කිරීමේදී අවධානයට ලක්වුණ විශේෂ කාරණා මොනවද? මගේ ශබ්දාගාරය තියෙන්නෙ මගේ ගෙදර. මම ඒක කාලයක් තිස්සෙ හිතාගෙන හිටි දෙයක්. මම දැන් හරි නිදහස්. ඕනෑම වෙලාවක මට මගේ සංගීත වැඩවල නිරත වෙන්න පුළුවන්. මම වැඩියෙන්ම කැමැති මගේ පවුලෙ අයත් එක්ක ඉන්නයි. ඉතින් මගේ ශබ්දාගාරය නිවසෙම තියෙන නිසා මගේ වැඩවලට එළියට යන්න වෙන්නෙ නැහැ. නිවසේ ඉඳන්ම මගේ වෘත්තීය කටයුතුවල නිරත වෙන්න පුළුවන්. ඔබේ ගීත හැරුණම තවත් අලුත් නිර්මාණවලටක් අත ගහලද ඉන්නෙ? මේ දවස්වල අලුත් අය කිහිප දෙනකුට ගීත කිහිපයක් කරගෙන යනවා. ඊට අමතරව මම සංගීත අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍ය දෙකක් විතර විකාශය වෙන්න තියෙනව. තවත් අලුත් ටෙලිනාට්‍යයක් ලැබිලා තියෙනව. මේ හැම දෙයක්ම අතරෙ මගේ සංගීත කණ්ඩායම ඔක්ටේව් හි වැඩ කරගෙන යනවා. මෙම සංගීත කණ්ඩායමේ පුහුණුවීම් තියෙන්නෙත් මගේ නිවසේමයි. තීක්ෂණ හරිම කාර්ය බහුලයි නේද? මෙහෙමයි, මගෙයි බිරිඳගෙයි එක්තරා ඉලක්කයක් තියෙනවා. අපි දෙන්න අවුරුදු 45 විතර වෙනකම් කාර්යබහුල වෙලා වැඩ කරනව. ඊට පස්සෙ මඳ විවේකයෙකින් යුතුව නිස්කාංසුවේ වැඩ කරනව කියලා. ඒ නිසා ඇත්තටම කාර්යබහුල රටාවකට අනුව තමයි අපි වැඩ කරන්නෙ. ඍබ සුපිරි තරුව නොවුණත් අද වෙද්දි සුපිරි තරුවටත් වඩා ස්ථාවරයක් ක්ෂේත්‍රයේ දිනාගෙන සිටිනවා. මේ දියුණුවේ රහස කුමක්ද? මම මේ සාර්ථකත්වයට එනව කියන අධිෂ්ඨානය අපිට තියෙන්න ඕන. ඒ අරමුණ කරා යද්දි විනයක් ඇතිව අපේ වෘත්තිය කරන්න ඕනෑ. අනිත් කාරණය අපේ රැකියාවට අපි ගරු කරන්න ඕන. අපි හම්බකරන් කනදේට අපහාස කරන්න හොඳ නැහැ. මම ලංකාවෙ තියා පිටරටකට ගියත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට අනවශ්‍ය මිතුරන් ඇතිවෙලා නැහැ. හැම මනුස්සයත් එක්කම කරදරයක් නැතිව ඉන්න ඕනෑ. මේ කාරණා අනුව ජීවත් වෙද්දි ජීවිතය ඉබේම සාර්ථකයි. විද්‍යාවේදී උපාධිධාරියෙක් සංගීතඥයෙක් වීම ගැන අදහස මොකද්ද ? මගේ විද්‍යාව සම්බන්ධ උපාධියට අනුව මම රැකියාවන් කළා. ඒ රැකියාවන් උදේ අට සවස පහ දක්වා තියෙන රැකියාවක්. ඒ රැකියාව කරද්දි මට නිදහසේ ජීවත් වෙන්න. මගේ යාළුවන් එක්ක ගත කරන කාලය අඩුයි. මම බලාපො​රොත්තු වෙන සතුට ලැබෙන්නෙ නැහැ කියලා මට තේරුණා. ඒකයි මම සංගීතය තෝරගත්තෙ. දැන් මම පුදුම විදිහට නිදහස් කෙනෙක්. තීක්ෂණගේ ආදර කැදැල්ලෙ අලුත්ම තතු මොනවද? බිරිඳ අනුරාධිකා රත්නායක ඇය රැකියාවක් කරන්නෙ නැහැ. අපේ පුතා ඒඩ්න් ලූක් අනුරාධ. අපි තුන්දෙනාගෙ නම්වලට අනුරාධ කියන වචනය තියෙනවා. පුතාට තවම අවුරුද්දයි මාස අටක් විතර වයස. දැන් රියලිටි වැඩසටහන් වැඩියි කියලයි හැමෝම කියන්නෙ. ඔබට මේ ගැන අදහසක් තියෙනවද? සමහරු නම් කියනව රියැලිටි ෂෝ ඇති කියලා. මම නම් කවදාවත් රියැලිටි ෂෝ ඇති කියලා කියන්නෙ නැහැ. පවුලකට දරුවන් ලැබෙන්න. ඔවුන් කියන්නෙ නැහැ ඇති කියලා. රියැලිටි ෂෝ කියන එක රටේ කලා ක්ෂේත්‍රයට දරුවන් බිහි කරන අම්මා කෙනෙක් වගෙයි. උදාහරණයක් ගත්තොත් මම සුපර් ස්ටාර් වුණේ නැහැ. හැබැයි මම අද ගායන ක්ෂේත්‍රයේ ඉන්නව. ඒ විදිහට බොහෝ පිරිසක් රියැලිටි වැඩසටහන්වලින් බිහිවෙලා අද ක්ෂේත්‍රයේ වැඩක් කරල නමක් දිනාගත්ත පිරිසක් ඉන්නව. සුරංජි පතිරණ
 

More News..