brand logo

රංගනය අතහැරලා උපේක්ෂා සින්දු කියනවද

07 March 2019

පබා ලෙසින් ඉමහත් රසික ප්‍රසාදයකට පාත්‍රවන උපේක්ෂා ස්වර්ණමාලි එදා සිට අද වනවිට ජීවිතයේ බොහෝ දේ සමගින් බොහෝදුර ඇවිත්. ජීවිතයේ ඉතා සංකීර්ණ අත්දැකීම් සමගින් නිහැඬියාවකට පණ දී සිටි උපේක්ෂා රංගනයෙන් ඉවත්ව යාදෝයි රසිකයන් සිතූ මොහොතක පබා වැනිම ප්‍රේක්ෂකයන්ට දැනෙන චරිත කිහිපයක් සමගින් නැවතත් රසිකයන් ඉදිරියේ පෙනී සිටිනවා. අද අප ඇය සමග කතා කරන්නෙ පබාගේ සිට ප්‍රභාෂිණී දක්වා පැමිණි ගමනක මතකය ගැනයි. ඔබ නිසා ටෙලිනාට්‍යයෙන් උපේක්ෂා ඇත්තටම වෙනස් වෙලා නේද? ඇත්තටම ඔබ නිසා ටෙළිනාට්‍යයේ ප්‍රභාෂිණී කියන්නෙ මම මගේ රංගන දිවියේ ප්‍රථම වරට භාරගන්නා අහිංසකම චරිතයි කිව්වොත් නිවැරදියි. ප්‍රභාෂිණී කියන්නෙ පබාටත් වඩා අහිංසක කාන්තාවක්. පබාට අඩුම තරමින් කේන්ති යනවා. මෙයාට කේන්ති යන්නෙත් නැහැ. ප්‍රභාෂිණී තමන්ට සිදුවන හැම දුක්පීඩාවක්ම දරාගෙන අනුන් වෙනුවෙන් ජීවත්වන කාන්තාවක්. උපේක්ෂාට ප්‍රභාෂිණී වීම දෙයක් වුනාද? අපිට දැනෙන හැඟීම් එළියට වීසි කරන එක ලේසියි. නමුත් ඒ හැඟීම් තමන් තුළම දරාගන්නව කියන එක ලේසි දෙයක් නෙවේ. මෙම චරිතය රූගත කරන හැම වෙලාවකම මට ඒ බව දැනුණා. උපේක්ෂා හා ප්‍රභාෂිණී අතර සමානතා නැද්ද? අපි චරිත නිරූපණය කරද්දි සියයට සියයක් අපි වගේම අයගේ චරිතය නිරූපණය කරන්න ලැබෙන්නෙ නැහැ. නමුත් අපිට ලැබෙන චරිතවල සැබෑ දිවියේ අපේ චරිතවල ගති ලක්ෂණ වැඩි අඩු වශයෙන් තියෙන්න පුළුවන්. ප්‍රභාෂිණී කියන්නෙ උපේක්ෂාට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්. ඔබ නැවතත් වෘත්තිය නිළිය කියන භූමිකාවේද ඉන්නේ? අනිවාර්යෙන්ම මගේ පෙර පිනකට. දැන් මගේ දරුවාට ස්වාධීනව වැඩ කරන කාලය උදාවෙලා මගේ නැන්දම්මා හා සේවිකාව සමග වුණත් දරුවා තියලා මට රංගන කටයුතුවලට යන්න පුළුවන්. මට දැන් හොඳ වැඩ ලැබෙනවා. උපේක්ෂාට නැවතත් දේශපාලනයට එන්න අදහසක් තියෙනවද? මේ මොහොතේ මම දේශපාලනයට එනව කියන්නෙ මම මගේ දරුවාට කරන ලොකු අසාධාරණයක්. එයාට නිදහසේ ජීවත් වෙන්න සාමාන්‍ය ජීවිතයක් ගෙනයන්න තියෙන අයිතිය නැති කිරීමක්. මේ ලෝකෙ හැම දේටම වඩා මට මගේ දරුවා වටිනවා වගේම උපේක්ෂා ස්වර්ණමාලි කියන කෙනාටත් කරන ලොකු අසාධාරණයක්. මගේ දරුවාට අවුරුදු විස්සක් විතර වුණ කාලෙක මගේ අත්දැකීම්වලින් සමාජයට සේවයක් කරන්න ලැබුණොත් එදාට ඒ ගැන හිතන්න ඉඩ තියෙනව. උපේක්ෂා ඔබගේ සැමියා දේශපාලනයට සම්බන්ධ කෙනෙක්ද? ඔහු දේශපාලනය ගැන නොහිතන කෙනෙක් නෙවෙයි. නමුත් ඔහු දේශපාලඤයෙක් නම් නෙවෙයි. ඔහු ව්‍යාපාරිකයෙක්. උපේක්ෂාගේ වර්තමාන රංගන කටයුතු මොනවද? මේ දවස්වල අහස් මාලිගා හා ඔබ නිසා කියන ටෙලිනාට්‍ය රූගත කිරීම් කරගෙන යනවා. ඉදිරියේදි තවත් ටෙලිනාට්‍ය දෙකක් රූපගත කිරීම්වලට සම්බන්ධ වෙන්න නියමිතයි. පහුගිය කාලයේ මානය කියලා චිත්‍රපටයක රෑගත කිරිම් අවසන් කරලා තියෙනවා. ඉදිරියේ එය ප්‍රේක්ෂකයන්ට නරඹන්න ලැබෙයි. පහුගිය දවසක ඔබගේම ගීතයකින් ඔබ ගායන ලෝකයටත් එක්වූවා නේද? මගේ දුව ලැබෙන්න ඉන්න කාලෙ පිටරටක ඉන්න නාරද විජේසිංහ කියල අයියා කෙනෙක්. මට ගී පද මාලාවක් දුන්නා. ඒ කාලෙ මම ඒක ඒතරම් ගණන් ගත්තෙ නැහැ. පස්සෙ ඒ අයියම උනන්දු වෙලා සංඛ දිනෙත්ට කියලා ඒ ගීතයට තනුවකුත් නිර්මාණය කෙරෙව්වා. මෑතකදිත් දුවට අවුරුදු දෙක පසුකරනවත් එක්ක එයාගෙ හැසිරීම් එක්ක අර ගීතයේ වචන හා සංගීතය මට ඉතාමත් සංවේදී වූවා. පස්සෙ මම සංඛට කතාකරලා ගීතය පටිගත කළා. එයට රූප රචනාවකුත් කළා. අනාගතයේ සියලුම මාධ්‍යයන්ට ඒ ගීතය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා’ සුරංජි පතිරණ
 

More News..