Uncategorized

දෙවෙනි ඉනිම නිසා මට ගෙයක් කුලියට වත් දුන්නෙ නැහැ – අරුණි මෙන්ඩිස්

මගේ ජීවිතයේ වැඩියෙන්ම මතක සටහන් ඉතිරි කළේ පාසල් සමයයි. ඉස්කෝලෙ කාලෙ මම හරිම දඟයි. ඉස්කොලෙ වාර විභාග ඉවරවෙලා ළමයින්ට පොඩි විවේක සමයක් ලැබෙනවනෙ ගුරුවරු ප්‍රශ්නපත්‍ර බලනව. රිපෝට් කාඩ් හදනව වගේ දේවල්වලට යොමු වුණාම අපිට නිදහස උපරිමයි. සමහර ළමයි නම් ඒ දවස්වලට උගන්වන්නෙ නැහැ කියලා ඉස්කෝලෙ එන්නෙ නැහැ. හැබැයි මම ඇතුළු අපේ යාළුවො පිරිස වෙනදාටත් වැඩියෙන් උනන්දුවෙන් ලෑස්තිවෙලා උදේ පාන්දරින්ම ඉස්කොලෙ එනව. සමහරුන්ගෙ බෝල බැට් වගේ දේවල් අරගෙන එනව. එ් එන්නෙ ක්‍රිකට් සෙල්ලම් කරන්න. අපේ ඉස්කෝලෙ බාලිකාවක් වුණාට අපිත් ඉස්කෝලෙ කොල්ලො වගේ දඟයි. අපි දාඩිය දානකම් ඇති තරම් ක්‍රිකට් ගහලා තමයි ගෙදර යන්නෙ.

ඉස්කෝලෙ හයේ පන්තියේ ඉඳන් වාර්ෂිකව අපිව අධ්‍යාපන චාරිකාවක් එක්ක යනවනෙ. මම හයේ පන්තියෙ ඉඳන් උසස්පෙළ පන්තිය දක්වාම හැම අවුරුද්දකම පාසල් අධ්‍යාපන චාරිකාවට සහභාගි වුණා. ඒකේ අපූරුම දේ තමයි චාරිකාව පුරාම දඟලල නටල සෙල්ලම් කරලා හැම දවසකම මම ආපහු ගෙදර ආවේ කළු පාට වෙනතම් නිල ඇඳුමේ දූවිලි තවරගෙන. ඒ විතරක් නෙවේ උණත් හදාගෙන. හැම අවුරුද්දකම පාසල් චාරිකාවෙන් පස්සෙ මට උණ ගත්තා මම ඉස්කොලෙ ට්‍රිප් එක ගිහින් එන්නෙ අනිවාර්යෙන්ම උණ හදාගෙන කියලා අපේ අම්මා දැනගෙන හිටියා විතරක් නෙවෙයි මට සාත්තු කරන්න අම්මා ඒ දවස් ටික හැමදාම වෙන්කරලා තියා ගත්තා.

ඊයෙ පෙරේදා දවසක මට මේ මොහොතෙත් පසුතැවීමක් දැනෙන සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මගේ ගම මීගමුව. ඒත් මගේ වැඩවලට පහසු වෙන්න මම කොළඹ නතර වෙලයි ඉන්නෙ. හැබැයි ඉඩ ලැබෙන හැම දවසකම මම ගෙදර යනවා. පහුගිය දවසක මම පිටකොටුවට ගිහින් අධිවේගී මාර්ගයේ ගමන් කරන සුපිරි බස් රථයකට ගොඩවුණා මීගමුවට යන්න. සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් තියෙනව. නිදහසක් ලැබුණ හැම වෙලාවකම ඉයර්ෆෝන් එක කනේ රඳවාගෙන නිදහසේ මම ආස කරන සිංදුවක් අහන එක. එදත් මට කවුලුව අයිනෙ අාසනයක් ලැබුණා. මම ඉයර් ෆෝන් දෙක කනේ රඳවා ගත්තා පිටකොටුවේ ඉඳන් මීගමුවට අධිවේගී මාර්ගයෙ ගමන් කරන බස් එකකට විනාඩි විස්සක් විතර ගතවෙනවා.මම ඒ කාලය තුළ මගේ ගීත රසවින්දන විනෝදාංශයේ යෙදෙන්න හිතාගෙන පාඩුවේ හිටියා. මගේ යාබද ආසනේ හිඳගත්තෙ මැදිවියේ මහතෙක් කියලා මට යාන්තමට පෙනුණා.

ඒත් ඔහු කෙරෙහි අවධානයක් යොමු කරන්න මට වුවමනාවක් තිබුණෙ නැති නිසා මම මගේ පාඩුවේ හිටියා. කොන්දොස්තර මහත්තයා ගමන් ගාස්තු අයකරන වෙලාවෙ යාබද අසුනෙ හිටපු කෙනා මට ඉතිරි සල්ලිත් අරන් දුන්නා. මම ඔහු දෙස නොබලාම ස්තූති කරලා ඉවත බලාගත්තා. ඒ වෙලාවෙ නම් ඒ පුද්ගලයා මාත් එක්ක කතා කරන්න උත්සාහ කළා වගේ දෙයක් මට දැනුණා. ඒත් මම ඒකට ප්‍රතිචාරයක් දක්වන්න උනන්දු වුණේ නැහැ. කොහොම හරි බස් එක අධිවේගී මාර්ගයෙන් ඉවත්වෙලා ටික දුරක් යද්දි තිබුණ බස් නැවතුමෙන් අර පුද්ගලයා බසයෙන් බැසගත්තා. බස් එක ඉදිරියට ඇදෙනවත් එක්කම මට මගේ ඇස් අදහාගන්න බැරි දෙයක් මම දැක්කෙ. මගේ පාසලේ මම ඉගෙන ගන්නා කාලෙ උගන්වපු සර් කෙනෙක් තමයි ඔහු. මට පුදුමාකාර දුකක් දැනුණා. අනේ ඒ සර් මාව හඳුනාගෙන කතාකරන්න උත්සාහ කළාද කියලත් හිතුණ. මට බස් එකේ ඉඳලා කෑ ගහලා සර්ට කතාකරන්න හිතුණා. මේ ලිපිය හරි සර් බලනව නම් මම කියනව අනේ සර් මට සමාවෙන්න කියලා.

මේක මේ දවස්වල මම රඟපාන නිලූ​ගේ චරිතය නිසා මට විඳින්න වුණ අත්දැකීමක් දෙවෙනි ඉනිමෙ ඉන්න චරිතවලට අද රසිකයන් ආදරය කරනවනේ. පහුගිය දවසක මට ඕන වුණා අලුත් නවාතැනක් හොයාගන්න. අන්තර්ජාලයේ පළකරල තිබුණ නිවාස කුලියට දීමේ දැන්වීම් ලැයිස්තුවක් පීරලා මම මට පහසු යැයි හිතෙන තැනක් තෝරගත්තා. එහි තිබුණ දුරකථන අංකයට ඒ මොහොතේම ඇමතුමක් ලබාත්තා. අනිත් පසින් කතාකළේ කාන්තාවක්. මම මා ගැන සම්පූර්ණ හැඳින්වීමක් ඇයට කළේ නැහැ. නමුත් මම පැවසුවා මම මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක් කියලා. ඇය මට කිව්වෙ පහසු වෙලාවක ඇවිත් නිවස බලලා තීරණයක් ගන්න කියලයි.

ඒ දවස්වලම තමයි දෙවෙනි ඉනිමෙ නිලූ අමීෂාගේ ගේ තමන්ගෙ කරගන්න එයාගෙ සැමියාට කරදර කරමින් හිටියෙ. ඔන්න මට පහසු වෙලාවක් බලලා මම ගියා ඇනෙක්ස් එක බලන්න. නිවෙස හිමි කාන්තාව මාව දැක්ක ගමන්ම අං කිව්වා මට හැඟුණා මාව හඳුනාගත්ත බව. මම ඒ බවක් නොහඟවා කුලියට දෙන්න තියෙන ඇනෙක්ස් එක බලන්න ඕන බව පැවසුවා. ඇනෙක්ස් එක බැලුවත් නිවෙස් හිමි කාන්තාව මට කිව්වෙ ඔයාට නම් ගේ කුලියට දෙන්න බැහැ කියලයි. මම හිතුවෙ ඒ විහිළුවට කිව්ව දෙයක් කියලා. ඒත් ඇය නැවතත් පැවසුවේ ඔයාට ගෙවල් කුලියට දුන්නොත් අපේ ගෙවල් දොරවලුත් අයිතිකර ගනියි කියලයි. මම තවදුරටත් වචනයක්වත් කතා නොකර ආපහු ආවා.

සුරංජි පතිරණ