brand logo

ඔවුන්ගෙන් ලැබෙන දේ ඔස්සේ මම සෑහීමකට පත්වෙනවා

26 February 2019

නයෝමි තක්ෂිලා 1. නයෝමි මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල ‘නීල පබළු’ එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා. ඊට අමතරව සඳඑළිය, රූපවාහිනියේ ‘ක්‍රයිම් සීන්’ එකෙත් වැඩකටයුතු කෙරෙනවා. 2. කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ? මම 2014 වසරේ වගේ තමයි ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. එදා ඉඳන් අද වෙනකම් නිර්මාණ කටයුතුත් එක්ක කාලය ගෙවෙනවා. 3. නයෝමි දැන් මියුසික් වීඩියෝවල පේන්න ඉන්නේ හරි අඩුවෙන් නේද? මම මුලින්ම ටෙලිනාට්‍ය කළාට පස්සේ අධ්‍යාපන කටයුතුත් එක්ක ටෙලිනාට්‍යවලට ලොකු කාලයක් වැය කරන්න බැරි නිසා මියුසික් වීඩියෝවලට පෙනී සිටියා. දැන් මියුසික් වීඩියෝ තෝරා බේරාගෙන කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඊටත් වඩා ටෙලිනාට්‍යවලට ගියාම මියුසික් වීඩියෝවලට කාලය වෙන්කර ගැනීමේ අපහසුතාවකුත් තියෙනවා. අනිත් එක දැන් මම හිතන විදියට අපි දැන් ප්‍රමාණවත්. මියුසික් වීඩියෝ කලාව අලුත් අයට භාර දෙන්න ඕනේ. 4. නයෝමි රිදී තිරයටත් සම්බන්ධවෙලා ඉන්නවා. ඒ ගැනත් කිවුවොත්? ‘‘මම නිදහසේ පියා’’ චිත්‍රපටයේ චරිතයක් කළා. ඊට පස්සේ ඉසුරු ලක්මල්ගේ ‘‘අහසක් අල්ලන්න නෙමෙයි’’ චිත්‍රපටයේ චරිතයකට දායක වුණා. ඒකත් ඉක්මනින් තිරගත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 5. රංගන ක්ෂේත්‍රය තුළ ඔබ ලද අත්දැකීම් ගැනත් කිවුවොත්? මම මුලින්ම රඟපෑවේ ස්වර්ණවාහිනියේ විකාශනය වුණු ‘‘මීදුම් අම්මා’’ ටෙලිනාට්‍යයේ. ඒකේ මාලනි ​ෆොන්සේකා මහත්මියගේ දුවට මම හිටියේ. ඒක තමයි මගේ පළවෙනි අත්දැකීම. ඇත්තටම ලංකාවේ ඉන්න ප්‍රවීණම කෙනෙක් එක්ක රංගනයෙන් දායක වෙන්න ලැබුණු එක භාග්‍යයක් වුණා. ඉතිං එයාලගෙන් ලැබුණු ගුරුහරුකම් එක්ක ලොකු සහයෝගයක් ලැබුණා. 6. කලාව තෝරගත්තට දෙමව්පියන්ගෙන් කැමැත්තක් ලැබුණද? නාට්‍ය පාසලට ගියාට එයාලගේ අකමැත්තක් තිබුණේ නැහැ. ඉගෙන ගන්න පැත්තටනේ ආවේ. එයාලා දන්නවා පොඩි කාලේ ඉඳන් තෝරගත්තොත් දෙයක්, මම හොඳට හිතලා බලලා වැඩ කරනවා කියලා. ටික කාලයක් යද්දි එයාලටම තේරුණා මම වැරදි දෙයක් කරන්නේ නැහැ කියලා. ඉතිං ඊට පස්සේ එයාලම අවසර දුන්නා. 7. ඔබ දැන් රසික - හදවත් දිනාගත්ත ජනප්‍රිය තලයේ සිටින කෙනෙක් විදියට ඒ අවස්ථාව උදාවීම ජයග්‍රහණයක් විදියට දකිනවද? ඔව්, අනිවාර්යයෙන්ම. මම මෙච්චර කාලයක් චරිත තෝරා බේරා ගත්තත් සාධාරණයක් කළා. ඒ චරිතවලට. මම ගොඩක් වැඩ කරලා නැහැ. මම කරලා තියෙන වැඩවලින් මිනිස්සු අතර ඉන්න එක, ඔවුන්ගෙන් ලැබෙන දේ ඔස්සේ මම සෑහීමකට පත්වෙනවා. 8. ඉදිරි බලාපොරොත්තු මොනවද? ඉදිරියේදී තවත් සිනමා නිර්මාණයක් හරහා මගේ රසික රසිකාවියන් අතරට එන්නත් ලැබෙන සෑම නිර්මාණයකටම උපරිම සාධාරණයක් ඉටුකරන්නත් බලාපොරොත්තු වෙනවා. මේධාවි ජයතිලක.    
 

More News..