brand logo

වැරදි තීරණ නිවැරදි කරගෙන ඉදිරියට යනවා

08 January 2019

(1) ඉතින් හර්ෂණ කොහොමද මේ දවස්වල වැඩකටයුතු? මේ දවස්වල ඉඩෝර වැස්ස, සූරිය වච්චසා, අපේ ආදරේ සඳ හැංගිලා රූගත කිරීම් කරගෙන යනවා. ඒ වගේම තවත් අලුත් ටෙලිනාට්‍යයකට සූදානම් වෙනවා. (2) හර්ෂණ කාලයක් රංගන කටයුතුවලට break එකක් දීලා තිබුණා. එකපාරටම ආයිත් කලා කටයුතු සමග එකතු වෙන්න හිතුවේ ඇයි? ඇත්තටම මගේ ව්‍යාපර කටයුතු සමග කාර්යබහුල වීමත් සමග කලා කටයුතුවලට දායක වෙන්න කාලය තිබුණේ නැහැ. මේ වෙද්දී ව්‍යාපාර කටයුතුවලින් පොඩි නිදහසක් ලැබුණා. ඒ නිසා කලා කටයුතු කිහිපයකටම සම්බන්ධ වුණා. (3) මේ දිනවල හර්ෂණ රංගනයෙන් දායක වන චරිතවලින් හර්ෂණ වැඩිපුරම කැමැති සුවිශේෂී චරිතයක් තියෙනවද? ඔව්, ඉඩෝර වැස්ස ටෙලිනාට්‍යයට මම පෞද්ගලිකව ගොඩක් කැමැතියි. ඇත්තම කිව්වොත් කාලෙකට පස්සේ මට ලැබුණ ලස්සනම කතා පිටපතක්. සමන්ත කුමාර ගමගේ අයියගේ පිටපතට ඉරේෂ් ලොකුබණ්ඩාර අයියා හොඳ සාධාරණයක් කරලා තියෙනවා කිව්වොත් මම නිවැරදියි. අනෙක් සහෝදර ශිල්පීන් ශිල්පිනියන්ගෙන් එහෙමත් ලොකු සහයෝගයක් මේ වැඩේට ලැබෙනවා. මොකද, මේ නිර්මාණයේ රූගත කිරීම් කරන්නේ ගොඩක් දුෂ්කරතා මැද්දේ, මේ කතා මාලාවේ රූගත කිරීම් තුළ ජීවිතේ කවදාවත් අමතක නොවන සුන්දර අත්දැකීම් රාශියක් තියෙනවා කිව්වොත් නිවැරදියි. මොකද අව්වයි සුළඟයි එක්ක අපේ මුළු ඇඟම වේලෙනවා. රූගතකිරීම් නිම වෙලා ගෙදර එද්දි හොඳටම කළු වෙලා. (4) හර්ෂණගේ ව්‍යාපාර කටයුතු ගැනත් කියමුද? ඔව්, ඇත්තටම ව්‍යාපාර පැත්තට යොමු වෙන්න මගේ ලොකු හීනයක් තිබුණා. තව අලුත් ව්‍යාපාරයකුත් අලුතෙන් පටන් ගත්තා. ඒවා තමයි ඉතින් විස්තර. (5) හර්ෂණ බෙත්මගේ කියන්නේ බොහෝ ප්‍රේක්ෂක ආදරයකට හිමිකම් කියූ කෙනෙක්. කලකට පස්සේ නැවතත් පුංචි තිරය සමග සම්බන්ධ වෙද්දි ඒ ප්‍රතිචාර ​නොවෙනස්වම හර්ෂණට ලැබෙනවාද? එදා ඒ ලැබුණ ප්‍රතිචාර සමග බලද්දි අද වන විටත් ඒ ප්‍රතිචාර එලෙසින්ම පවතිනවා කිව්වොත් මම නිවැරදියි. මමත් මගේ ප්‍රේක්ෂකයින්ට ගොඩක් ආදරෙයි. (6) දැන් දිගට රංගන කටයුතුවලට දායක වෙන්නද හර්ෂණගේ බලාපොරොත්තුව? ඇත්තටම කිව්වොත් ඔව්, දැන් ඉතින් දිගටම නිර්මාණවලට දායක වෙනවා. මම නළුකමෙන් හම්බ කරගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මේ වෙද්දි මම මගේ ස්ථාවරය හදාගෙන ඉවරයි. ඇත්තටම මම මගේ රංගන ජීවිතය පැත්තෙන් තෘප්තිමත්. (7) පසුගිය කාලේ පුංචි තිරය පිළිබඳ හර්ෂණ තුළ කලකිරීමක් තිබුණා නේද? ඇත්තටම මම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ගැන ගොඩක් කලකිරීමෙන් හිටපු කෙනෙක්. මොකද සමහර චරිතවලට නළුවගේ මුදල තීරණය කරන්නේ නිෂ්පාදකවරයා. නළුවට කිසිම තැනක් නැහැ. ගොඩක් අධ්‍යක්ෂවරු නළුවො හොයන්නේ චරිතවලට වඩා එයාලට අවශ්‍ය දිනවලට. අවුරුද්දක් විතර මම රංගන ක්ෂේත්‍රයේ වැඩකටයුතු සමග එකතු වුණේ නැහැ. රංගන ශිල්පියාව තුට්ටු දෙකට දාන නිර්මාණවලට මම දායක වෙන්නේ නැහැ. මම ස්වාධීනව කතා කරන කලාකරුවෙක්. (8) අද වනවිට හර්ෂණගේ ජීවිතය සතුටු වෙනවද? ඇත්තටම ඔව්, ආපස්සට හැරිලා බලලා මම ගත්ත වැරදි තීරණ දිහා බලලා දුක් වෙලා පසුතැවිලි වෙනවට වඩා මම හිතනව ඒ දේවල් නිවැරදි කරගෙන ඉදිරියට යන්න පුළුවන්නම් ගොඩක් වටිනවා කියලා. (9) හර්ෂණගේ ඉදිරි බලාපොරොත්තු මොනවද? හොඳ නිර්මාණවලට දායක වෙමින් මගේ ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේධාවි ජයතිලක  
 

More News..