brand logo

සමිතා මගෙ ඇඟට පැන්නම ඇඳත් කඩාගෙන දෙන්නම බිම වැටුණා

16 December 2018

රංගන ශිල්පිනියක හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වන ජානකී විජේරත්නගේ ජීවිතයට සමීප යෙහෙළියක් කලා ලෝකයේ දිදුළන තරුවක්. කලාකාරියක් විදිහට ලංකාවේ අතිශය ජනප්‍රිය චරිතයක්. ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය දැන් දශක එකහමාරකටත් එහා ගිහින් එදා වගේම අදත් ජානකී විජේරත්නයි සමිතා මුදුන්කොටුවයි අඹ යාළුවෝ. මේ සොඳුරු මිතුදම ගැන තොරතුරු කියන්නේ. ජනප්‍රිය නිළියක වන ජානකී විජේරත්නයි. සමිතයි මමයි නෑදෑයො වෙනව. හැබැයි ලොකුවට අපි නෑකම් පැවැත්වුවෙ නැහැ. මගේ ආච්චි අයිරින් ලියනගේ ගායිකාවක්නෙ. ඉතින් ආච්චිගෙ සංගීත වැඩවලට යද්දි එද්දි අපි දැකල තිබුණට අපි සමීප යාළුවො බවට පත්වෙන්නෙ මීට අවුරුදු පහළොවකට දාසයකට විතර කලින්. අපි දෙන්නා සාමාන්‍ය යාළුවො විදිහට ඉන්නකොට අපිට දැනුණ සිතුණ දේවල් අනුව අපි ඉබේම ළංවුණා. අපේ ජීවන රටාවත් එකවගේ ගොඩක් වෙලාවට අපි හිතන පතන විදිහත් එකවගේ. මේ වගේ අපි දෙන්නා අතර තිබුණ තේරුම් ගැනීමත් සමානකමත් එක්කයි කාලයක් යද්දි අපි හොඳම යාළුවො බවට පත්වුණේ. සමිතා තුළ තියෙන මම වැඩියෙන්ම අගය කරන ගුණය තමයි මොන ප්‍රශ්නය තිබුණත් ඒක ලෝකයට පෙන්වන්නෙ නැතිව හිනාවෙලා ඉන්න එක මම. නම් ජීවිතයේ ප්‍රශ්නයක් ආවහම විඳවනවා. මානසිකව වැටෙනවා. ඒත් සමිතා ඇතුළතින් දුක් වෙනවා ඇති සමහර වෙලාවට කඳුළු හළනවා. එක මොහොතකින් ඒ හැම දෙයක්ම අමතක කරලා හිනාවෙනව. සමිතා ළඟ තියෙන ඒ ආත්මශක්තිය කාන්තාවකට වටිනා දෙයක් විදිහට යි මම දකින්නෙ. සමිතා මගේ අගය කරන ගුණාංගය තමයි මම ආහාර පාලනය කරලා ජිම් ගිහින් ශරීරය හැඩට තියාගන්න එක. එයා ළඟ තියෙන ලොකුම දුර්වලකම තමයි එයාගෙ සෞඛ්‍ය ගැන හිතන්නෙ නැති එක. යාළුකම වැඩිකමටම අපි වෙලාවකට තරහ වෙනව. ඒ ඉතින් පොඩි පොඩි දේවල්වලට තමයි. මම හරි එයා හරි තවත් යාළුවෙක් එක්ක කොහේ හරි ගිහින් පොටෝ එකක් එහෙම දැම්මොත් එයාට පුංචි ඉරිසියාවක් ඇතිවෙනවා. මටත් එහෙමයි. එහෙම තරහ වුණාම මම ටිකක් පාඩුවෙ ඉන්නව. එයා නම් ඇවිත් කතා කරලා යාළුවෙනව. කිසිම වෙලාවක අපි අතරෙ ලොකු අමනාපයක් ඇතිවෙලා නැහැ. අප අතර තෑගි හුවමාරු වෙනවා. එයාට මම මට මේ දේ ගන්න ඕන කියල කිව්වොත් ඒක ගැන හිතන්නෙ නැහැ. මමත් එහෙමයි. එයාට දෙයක් ඕන කියල කිව්වොත් ඒක අරන් දෙනව. ඒ දේවල්වලට වඩා මුදල්වලින් මනින්න බැරි දෙයක් මට එයාගෙන් ලැබෙනව. ඒක තමයි ජීවිතේ මොන ප්‍රශ්නයක් ආවත් එයා මගේ ළඟ ඉන්නව. මමත් එහෙමයි. තව ඉතින් උපන්දිනවලදි එකිනෙකා පුදුම කරවන්න පුළුවන් දෙයක් කරන්න අපි දෙන්නම උත්සාහ කරනව. හොඳම යාළුව විදිහට ජීවිතයේ මම යම් අවදානම් දෙයක් කරන්න හදන හැම මොහොතකම එයා මාව ඒ දේවල්වලින් ගලවගෙන තියෙනව. ඒ වගේ ජීවිතේටමවත් අමතක කරන්න බැරි උදව් මට සමිතගෙ හරියට ලැබිලා තියනව. සමිතව රට තුළ ප්‍රසිද්ධ දක්ෂ ගායිකාවක් විදිහටනෙ. ගායනයට, රංගනයට අමතරව සමිතට තියෙන දක්ෂතාවක් තමයි එයාට ඒ හැම කෙනෙක්. අනුකරණය කරන්න පුළුවන් ඒකට එයා හරිම දක්ෂයි. එයා ළඟ ඉන්න කොට පාළුවක් දැනෙන්නෙ නැහැ. හැම වෙලාවෙම මොකක් හරි විහිළුවක් කරලා හිනාවෙනව. අපිවත් හිනාගන්වනව. අපි දෙන්නම ගොඩක් හුදකලාවට කැමැතියි. අපේ ජීවිතවල හරිම සුන්දර ප්‍රීතිමත් මතකයන් තියෙනව. එක දවසක් මම කටානෙ ටෙලි නාට්‍යයක රූගත කිරීම් තියෙත්දි සමිතලාගෙ පවුලෙ අය අපේ මාමලත් එක්ක එහෙ ආවා. මම රූගත කිරීම ඉවරවෙලා මහන්සියෙන් ඇඳට වෙලා හිටියා හරිම මහන්සියි කියලා. සමිතාගෙ පුරුද්දක් තියෙනව එකපාරටම ඇවිත් ඇඟට පනින එක. එදත් සමිතා මම ඇඳේ හාන්සිවෙලා ඉද්දි එක පාරටම මගේ ඇඟට පැන්නා. ඇඳත් කඩාගෙන අපි දෙන්නම බිම. මම හොඳටම බයවෙලා කෑ ගැහුවා. මෙයාට ගානක්වත් නැහැ. ඒ වගේ සැහැල්ලු හිතක් තමයි සමිතට තියෙන්නෙ. එයා ගීතයක් කළොත් මට එවනව. අලුත් ඇඳුමක් ඇන්දොත් මට පොටෝ එකක් එවනව. ඒ අවස්ථාවල මම බොරුවට නම් ඒ දේවල් වර්ණනා කරන්නෙ නැහැ. දැනෙන අවංකම හැඟීම ගැන පවසනව. ඒක අපි දෙන්නම එහෙමයි. තමන්ගෙ යාළුව කියල අපි කරන හැමදේම අපි බොරුවට නම් වර්ණනා කරලා එකිනෙකාව රවට්ටන ගතියක් අපි අතර නැහැ. හිත රිදෙයි කියලා ඇත්ත වසන් කරන්නෙ නම් නැහැ. වැරැද්දක් අඩුපාඩුවක් තිබුණොත් ඒක අවබෝධ කරලා දීලා හදාගන්නව. මට එයා උපදෙස් දෙනවට වැඩිය මමයි එයාට උපදෙස් දෙන්නෙ. අපි දිනපතාම කතාබහ කරනව. මගේ ජීවිතයෙ එයා නොදන්න දෙයක් නැහැ වගේම එයාගෙ ජීවිතයෙ නොදන්න දෙයකුත් නැහැ. එයා මම මේ ලෝකෙ දැකපු හොඳම අම්ම කෙනෙක්. එයා වෙනුවෙන් මම හැම මොහොතකම පතන්නෙ එයාට දුකක් නොවී සතුටෙන් ඉන්න ලැබෙන්න කියලයි. මතු සංසාරේ සමිතා මට හමුවෙනව නම් එයා මගේ සහෝදරියක් වෙනවටයි මම කැමැති. හැබැයි අද අපි අතරෙ තියෙන බැඳීම සහෝදර බැඳීමකටත් වඩා ශක්තිමත්. සුරංජි පතිරණ      
 

More News..