brand logo

සුසන්තිකා මිස් තමයි 'උදුම්බරා' මට ලැබෙන්න හේතුව

12 December 2018

1) ‘‘උදුම්බරා’’ චිත්‍රපටයට නදීෂානිට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද? ඇත්තටම කිව්වොත් සුසන්තිකා ජයසිංහ මිස් නිසා තමයි මට උදුම්බරා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. සුසන්තිකා මිස් දවසක් මගෙන් ඇහුවා ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සිංහල චිත්‍රපටයක් කරනවා, ඒකට සම්බන්ධ වෙන්න කැමැතිද කියලා. ඇත්තටම සුසන්තිකා මිස් එහෙම කිව්වාම මට පුදුම හිතුණා මම ජීවිතේටවත් රඟපාලා නැති නිසා. ඒ කොහොම වුණත් මම හැමදාමත් අභියෝග භාරගන්න කැමැති කෙනෙක් නිසා මිස්ට කැමැත්ත දුන්නා. ඊට පස්සේ මම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ චමන්ක්රාජ් සර්ව මුණගැහුණා. ඒ විදියට තමයි මම උදුම්බරා චිත්‍රපටයට සම්බන්ධ වෙලා උදුම්බරා වුණේ. 2) ඔබ ක්‍රීඩිකාවක්. ක්‍රීඩාව හා රංගනය කියන්නේ දෙකක්. ඔබට මෙය මොන විදියටද බලපෑවේ? ඇත්තටම මට එය අභියෝගයක් වුණා. මොකද ක්‍රීඩාවටම යොමු වෙලා හිටිය මම එකපාරටම කැමරාවක් ඉදිරියට ගිහින් කරන්නේ මොකක්ද කියන දේ පිළිබඳව කුතුහලයකින් හිටියේ. නමුත් චමත්ක්රාජ් සර් මාව හොඳට මෙහෙයවුවා. ඔහුගේ ඒ මෙහෙයවීම මට ලොකු හයියක් වුණා ‘‘උදුම්බරා’’ චරිතයට සාධාරණයක් කරන්න. ඒ වගේම විශේෂයෙන් ජැක්සන් ඇන්තනී සර්වත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන. සරත් අයියා ඇතුළු චිත්‍රපට කණ්ඩායමේ හැම කෙනෙක්මත් මට මේ වෙනුවෙන් ලොකු සහායක් දුන්නා. ජැක්සන් සර් නිතරම වගේ මගේ ඉරියව්, අංග චලනය ඒ හැමදෙයක්ම කියලා දුන්නා වගේම ජයනි අක්කත් මට ලොකු සහයෝගයක් දුන්නා. 3) ඔබට දැනුණ විදියට ‘‘උදුම්බරා’’ කියන්නේ මොන වගේ චරිතයක්ද? කොළඹ මුඩුක්කු ගෙදරක පදිංචි වෙලා ඉන්න ක්‍රීඩාවට දක්ෂ ගැහැනු ළමයෙක් නොයෙකුත් අඩුපාඩුකම් මැද ජාත්‍යන්තරය ජයගන්න ආකාරයක් තමයි ‘‘උදුම්බරා’‘ තුළින් පෙන්වන්නේ. 4) නදීෂානිගේ පවුලේ හැමෝම ක්‍රීඩා කරපු අය. එයාලගේ කැමැත්තක් තිබුණද නදීෂානි රංගනයට යොමු වෙනවට? ඇත්තටම ඔව්, අම්මා, තාත්තා ක්‍රීඩා කළ නිසා තමයි මමත් ක්‍රීඩාවට යොමු වුණේ. ඒ ආභාෂය මගේ නංගිටත් පිහිටලා තිබුණා. ගෙදර අයගේ ලොකු කැමැත්තක් තියෙනවා මම රංගනයට යොමු වුණාට. අපේ පවුලෙන් රංගනයට යොමු වුණ එකම කෙනා මම. 5) චිත්‍රපටය රූපගත කිරීම කරන මොහොතේ සුන්දර මතකයන් වගේම අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති? කිහිපයක්ම තිබුණා. මම ක්‍රීඩා කරන කොට ගොඩක් වෙලාවට පුහුණුවීම් කළේ ground එකක. නමුත් චිත්‍රපටයේ මම පුහුණුවීම් කළේ පාරේ. ඒ වෙලාවට මිනිස්සු නිතරම රූපගත කිරීම් බලන්න එනවා. ඉතින් මේක මට අමුතු අත්දැකීමක් වුණා. ඒ වගේම චිත්‍රපටයේ එක්තරා දර්ශනයක් තිබුණා ජයනි අක්කා මගේ කම්මුලට ගහන අවස්ථාවක්. ඒ අවස්ථාවේ ඒ දර්ශනයට ගැළපෙන්න ඕන විදියටම ටිකක් හයියෙන් මගේ කම්මුලට ගැහුවා. ඒක මට ටිකක් රිදුණා. ඒත් මොනව කරන්නද කියලා හිත හදාගත්තා. ඒ සිදුවීමත් මගේ අමතක නොවන මතකයන්වලට එකතු වෙනවා රූපගත කිරීම් කරන අවස්ථාවේ සිදුවුණු අමතක නොවන සිදුවීම් අතරට. 6) නදීෂානි රංගන ක්ෂේත්‍රය තුළිනුත් ඉදිරියට යන්න බලාපො​රොත්තුවක් තියෙනවද? ඔව්, ‘‘උදුම්බරා’’ චිත්‍රපටයෙන් පස්සේ දැන් රඟපාන්නත් ආසාවක් තියෙනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන් බාරගන්නවා. 7) නදීෂානිගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද? ඉදිරියට නැවතත් ක්‍රීඩාවට යොමු වෙන්න සූදානමක් තියෙනවා. ඒවගේම රංගනය පැත්තෙනුත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. 8) හිතුවද මේ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර නදීෂානිගේ මුල්ම රංගනයට ලැබේවි කියලා. නැහැ. මේ වන විට බොහෝ ප්‍රතිචාර ලැබෙනවා මට. ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ මුල්ම රංගනය තුළින් මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න හැකිවුණු එකට. මේධාවි ජයතිලක    
 

More News..