brand logo

තාත්තා කෙනෙක්ගෙ චරිතය ආසාවෙන් කරන්නෙ

05 December 2018

(1) චානුක ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද? මම මේ ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ නිරූපණ ශිල්පියෙක් විදියට. නදීශා ඉලංගකෝන්​ගේ සැලෝන් එකේ නිරූපණ කටයුතුවල නිරත වෙන මොහොතකදී තමයි මට ශාන්ත සොයිසා මහත්මයාව මුණ ගැසෙන්නේ. ඒ මුණගැහීමෙන් තමයි මට මුල්ම ටෙලිනාට්‍ය වන ‘මිතූ’ වෙනුවෙන් සම්බන්ධ වන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒ ආරම්භය තමයි මගේ ජීවිතේ ලොකු වෙනසක් සිදු කළේ. ඉන් අනතුරුව ප්‍රියන්ත කොළඹගේ මහතාගේ ටෙලිනාට්‍යකටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. (2) චානුක නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ රංගන ශිල්පියෙක් වීමේ බලාපොරොත්තු ඇතිවද? එහෙම කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම අවුරුදු 4ක් නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කළා. ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ තරගවලටත් සම්බන්ධ වුණා සහ ඒවායින් ජයග්‍රහණයක් හිමි කර ගත්තා. ඒ වගේම ලංකාවේ පැවැත්වෙන දැවැන්ත ප්‍රසංගවලටත් සම්බන්ධ වුණා. ඒ අතරතු​​රේ තමයි රංගනයට සම්බන්ධ වෙන්න දොරගුළු විවර වුණේ. ඒ තුළින් මම උපරිම ප්‍රයෝජන ගත්තා. (3) සකූගේ කතාවේ ‘මාලක’ කියන්නේ චානුකට ලැබුණු වෙනස්ම චරිතයක් නේද? ඇත්තටම ඔව්. මේ මගේ දෙවන චරිත නිරූපණය. මීට පෙර මම ඉදිරිපත් කළේ කෙළිලොල් තරුණ චරිතයක්. නමුත් මෙහි එන මාලකගේ චරිතය ඊට හාත්පසින්ම වෙනස්. මෙහි එන චරිතය ඇතුළේ තාත්තා කෙනෙක්, ආදරවන්තයෙක්, සංගීතවේදියෙක් ආදී චරිත ගණනාවක්ම ඉදිරිපත් කරන්න තියෙනවා. මාලක කියන්නේ ලොකු වගකීමක් තිබෙන චරිතයක් කිව්වොත් මම නිවැරදියි. (4) මාලක ගැනත් කිව්වොත්? මාලක කියන්නේ දැවැන්ත චරිතයක්. අතීතය සහ වර්තමානය දෙකට නිරූපණය වන චරිත දෙකක් ඉදිරිපත් කරන්න තියෙනවා. ඇත්තටම මේ චරිතය ලොකු අභියෝගයක්. නමුත් මට මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්න Production crew එක ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් හැමෝම වගේ ගොඩක් උදව් කරනවා. ඒක මට ලොකු හයියක් වුණා චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න. (5) චනුකට මාලකගේ චරිතයට ආරාධනා ලැබෙන්නේ කොහොමද? මේ චරිතය මට අහම්බෙන් වගේ ලැබෙන්නේ. මගේ සහෝදරියකගේ මාර්ගයෙන් තමයි ‘සකූගේ කතාව’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂතුමාව මුණගැහෙන්නේ. ඉන්පසු මම මෙහි තිර පරීක්ෂණයකට සම්බන්ධ වෙලා ඒකෙන් select වුණාටත් පස්සේ තමයි චරිතය ගැන දැනගන්න ලැබුණේ. මේ චරිතය ලොකු අභියෝගයක් කියලා හිතුණත් රංගන ජීවිතයේ එක රාමුවකට කොටු නොවී ඒ තුළ යමක් කරන්න පුළුවන් චරිතයක් කියලා හිතුණ නිසා ඒ විශ්වාසය සහ කැපවීම මත නොපැකිළිව ‘මාලකගේ’ චරිතය මම භාරගත්තා. (6) චනුකගේ වයසත් එක්ක බලද්දි පියකුගේ චරිතය ඉදිරිපත්කිරීම ඉදිරි රංගන ජීවිතයට අසාධාරණයක් වෙයි කියලා හිතුණේ නැද්ද? කොහෙත්ම නැහැ. රංගන ශිල්පියෙක් වුණාම ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනි. ආදරවන්තයාගේ චරිතයේම කොටුවෙලා ඉන්න ඕනි කියලා දෙයක් මං තුළ නැහැ. එක රාමුවකට කොටු නොවූ විවිධාකාර චරිතවලින් ඉදිරියට එන්න මම කැමැතියි. මේ චරිතය එයට ආරම්භයක් විදියට ලැබුණ අවස්ථාව මම සතුටින් භාරගත්තා. (7) පියකුගේ චරිතයට පණපොවද්දි, ඒ තුළ ජීවත් වෙද්දී චානුකට දැනුණ හැඟීම කොයි වගේද? මම කොහොමත් පොඩි ළමයින්ට ගොඩක් ආදරෙයි. පොඩි ළමයි හරි ඉක්මනට මගෙත් එක්ක සමීප වෙනවා. ඒ නිසා මේ රංගනයේදී පියාගේ චරිතයට පණපොවන්න මට අසීරු වුණේ නැහැ. ‘සකූගේ කතාව’ තුළ රංගනයෙන් දායක වුණු පුංචි දරුවො දෙන්නත් හරි දක්ෂයි. ඒ නිසා පියාගේ චරිතයට ප්‍රවිෂ්ට වෙන්න මට එයාලගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. ඇත්තටම කිව්වොත් වැඩකරන්නත් හරිම කැමැත්තක් ඇති වුණා. (8) මේ දිනවල චනුකට කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වාම බොහෝ දෙනෙක් ආදරය කරනවා. ඒ ආදරය ලැබෙන්නේ මාලකගේ චරිතය නිසා නේද? ඇත්තටම ඔව්, බොහෝ දෙනෙක් ආදරය කරනවා. එක පවුලක් විදියට යොවුන් වැඩිහිටි සියලු දෙනාම එකට හිඳ නරඹන කතාවක් තමයි ‘සකූගේ කතාව’. ඉතින් මාලකගේ චරිතය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් කළා කියන්න පුළුවන්. (10) චනුක කියන්නේ කඩවසම් තරුණයෙක්. තවම රිදී තිරයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් නැද්ද? මගේ ලොකු ආසාවක් තියෙනවා රිදී තිරයටත් සම්බන්ධ වෙන්න. ඒක ලොකු හීනයක්. මම හිතනවා ඉදිරියේදී ඒ වාසනාව ලැබෙයි කියලා. මේධාවී ජයතිලක  
 

More News..