brand logo

සේදර මැණිකේ මගේ පෙර පිනකට ලැබුන අති දැවැන්තම චරිතයක්

07 December 2018

(1) උදාරිට එකිනෙකට වෙනස් චිත්‍රපට දෙකක රඟපාන්න අවස්ථාව ලැබුණා මේ වසරේ. අපි ඒ ගැන කතා කරමු. ඔව් චිත්‍රපට දෙකක් රූගත කිරීම් කරලා අවසානයි. වී. සිවනාදන් මහත්මයගේ ‘දෙවැනි යුද්ධය’ චිත්‍රපටය හා ජැක්සන් ඇන්තනි මහත්මයාගෙ ‘එක ගෙයි කෑම’ චිත්‍රපට තමයි ඉදිරියේදී එන්න තියෙන්නේ. දෙවැනි යුද්ධය සිනමා පටයේ පුබුදු චතුරංග එක්ක වගේම එකගෙයි කෑම චිත්‍රපටයේදී සජිත සහ අකිල එක්ක රඟපානවා. බොහෝම ආසාවෙන් මේ වැඩකටයුතු කළා. (2) මේ චිත්‍රපට දෙකේ තේමාවන් මොනවගේද? දෙවැනි යුද්ධය චිත්‍රපටය මිනීමැරුමක් සම්බන්ධයෙන් තමයි කතාව දිවෙන්නේ. මගේ චරිතය තියෙන්නේ නීතිඥවරියක් විදියට. සී.අයි.ඩී. එකේ ඉන්න යුවතියකගේ ජීවිත කතාවක්. ජැක්සන් ඇන්තනි මහත්මයගේ චිත්‍රපටයෙන් කතා කරන්නේ අපේ ලංකාවේ තිබුණ සාම්ප්‍රදායික කුල සිරිතක් ගැන. ඒ එකගෙයි කෑම කියන සංකල්පය හරහා තමයි මගේ චරිතය දිගහැරෙන්නේ. අපි හැමෝම බොහෝම පූජනීයත්වයෙන් කරපු දෙයක් මේක. (3) රංගන ශිල්පිනියක්, ශ්‍රී ලාංකික ගැහැනියක් විදියට උදාරි කොහොමද එකගෙයි කෑම සංකල්පය දකින්නේ? එකගෙයි කෑම කියන්නෙ ලංකාවේ අපේ තිබුණ පැරණි සිරිතක්. හැබැයි ඒ චාරිත්‍රය මොකක්ද කියන්නවත් ලංකාවේ වර්තමාන පරපුර දන්නේ නැහැ සහ ඒක ගැන වැරදි අවබෝධයකින් ඉන්න අයත් ඉන්නවා. මේ සංකල්පයේ ඇත්ත තේරුම මොකක්ද කියල තමයි අපි මේ චිත්‍රපටයෙන් කතා කරන්නේ. ආදරය කියන දේ උපරිමයෙන් තියෙන හරිම පිරිසිදු සංකල්පයක් තමයි එකගෙයි කෑම කියන්නේ. එකිනෙකා ගැන ගෞරවයත්, ආදරයත් මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කරනවා. (4) මේ චිත්‍රපටයේ ලැබුණු චරිතය ගැන උදාරි ගොඩක් සතුටින් ඉන්නෙ කියලා ආරංචියි? අනිවාර්යයෙන් ඔව්. මගේ ජීවිතයේ ලැබුණු අති දැවැන්තම චරිතය තමයි මේක. මගේ පෙර පිනකට මේ චරිතය ලැබුණේ මාව විශ්වාස කරලා මේ චරිතයට මාව තෝරගත්ත එකත් ලොකු දෙයක්. මමත් බලාගෙන ඉන්නේ කවදද මේ චිත්‍රපටය රිලීස් වෙන්නේ කියලා. (5) එකගෙයි කෑම චිත්‍රපටයේදී ඔබේ රංගන හැකියාව විශේෂ වෙනවා නේද? ඔව්. මේ චරිතයේදී මට ගැඹුරු ගැහැනු චරිතයක් නිරූපණය කරන්න තියෙන්නේ. මේ චිත්‍රපටයෙ ඉන්ටවල් එක වෙනකම් මගේ කටින් එක වචනයක්වත් පිටවෙන්නේ නැහැ. මම ඉරියව්වලින් ඇස්වලින් විතරයි හැඟීම් ප්‍රකාශ කරන්නේ. අභිරූපණය පුහුණු වුණා. ජීවිතේ මට ලැබුණු හොඳම චරිතය සේදර මැණිකේ. (6) උදාරි කියන්නේ අංගම්පොර සටන් කලාව හදාරන කෙනෙක්. මේ හැකියාවෙන් අධ්‍යක්ෂවරයෙක් වැඩක් ගත්තෙ නෑ නේද? එහෙමම කියන්නත් බෑ. මගේ මේ ළඟදී රිලීස් වුණ පෝරිසාදයා චිත්‍රපටය මට ඒ හැකියාව පෙන්වන්න හොඳ අවස්ථාවක් වුණා. සටන් හැදෑරීමෙන් ලැබූ පන්නරය මට ඒකෙන් පෙන්වන්න අවස්ථාව ලැබුණා. මම බොහෝම ආදරනීය, අහිංසක ගැහැනිය කියන ලේබලයෙන් ගැලවුණේ මේ චිත්‍රපටයෙන්. (7) රංගන ජීවිතේ මේ තරම් කාර්ය බහුල වෙද්දී උදාරි කොහොමද පවුලේ සහ දියණියගේ වැඩ මග නොහැර කරන්නේ? මගේ ජීවිතේ හැමදාම මූලිකත්වය දෙන්නේ සහ දුන්නේ මගේ දියණියට සහ පවුලට මම. කොහොම හරි කාලය හදාගන්නවා ඒ අය මග නොහැරෙන්න. (8) පසුගිය දිනයක අපි දැක්කා උදාරිත් දියණියත් එකම විදියට ඇඳලා ඉන්නවා. දියණිය දැන්මම මේ ක්ෂේත්‍රයට හුරු කරනවද? මම පවුලක් විදියට ඉදිරියට යන්න කැමැතියි. මහත්තයා නැත්නම් මම කොහොමත් දියණිය එක්කන් යනවා. දුව රංගනයට එවනවා කියලා මගේ බලාපොරොත්තුවක් නැහැ. එයා කැමැති විදියට ඇන්දේ. එයා ගැහැනු ළමයෙක් නිසා ආසයි අම්මා වගේ ලස්සනට ඇඳලා මේකප් කරලා යන්න. ඉතින් ඒකයි එහෙම ඇන්දේ. එයා ඒකට ආසයි. (9) උදාරි හැමදාම එක වගේ කොහොමද මේ ශරීර හැඩය පවත්වාගන්නේ? මගෙ තාත්තා ගුවන් හමුදාවේ ඉඳපු ස්පෝට් ඔෆිස කෙනෙක්. එයා මට හදල දීලා තියෙනවා වර්ක් අවුට් ෂෙඩුල් එකක්. මම බබා ලැබුණම ගොඩක් මහත් වුණා. ඉතින් තාත්ති තමයි 88kg ඉඳන් දැන් තියෙන බරට අවුරුද්දකින් මාව හැදුවේ. (10) සැමිය එක්ක විදේශගත වෙන බලාපොරොත්තු අතෑරලද තියෙන්නේ? තවම එහෙම නැහැ. හැබැයි දැනට තීරණය මම ලංකාවේ ඉන්නවා කියන දේ. මගෙ ප්‍රේක්ෂකයෝ මට හරිම ආදරෙයි. මගේ පළවැනි නාට්‍යයෙන්ම වසරේ ජනප්‍රියම නිළිය සම්මානය ලැබුණ. දිගින් දිගටම මට මේ සම්මානය ලැබුණා. මම ඒකට සතුටුයි. එයාලගෙ ආදරයට ඉතින් මම එයාලව අතාරින්න බලාපොරොත්තුවක් නෑ. උපුලි පුන්සරා  
 

More News..