brand logo

මම සති දෙකක් මෝචරියේ උන්නේ

27 September 2019

සිංහල සිනමාවට අලුතෙන්ම එකතු වෙන වෙනස්ම චිත්‍රපටය තමා හුස්ම... වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ එන හුස්ම ගැන හැමෝම කතා කරනකොට මෙහි ප්‍රධාන නළුවන් තිදෙනාට මැදිවන නිළිය ගැන කතා නොකර කොහොමද? අපි ඇගේ හුස්මත් එක්ක මොහොතක් එකතු වුණා. ඇය චමත්කා ලක්මිණි චමත්කගේ ප්‍රථම රංගනයද? නැහැ. මගේ දෙවැනි ෆිල්ම් එක තමයි හුස්ම. මීට කලින් නාලක විතානගේගේ සරුංගලේ චිත්‍රපටයේ රඟපෑවා. ජනාධිපති සම්මානයක් පවා මට ඒ චිත්‍රපටයට ලැබුණා. ඔබේ ප්‍රථම රංගනය සිනමාවද? නැහැ. මම මුලින්ම කළේ නර්තනය. ඊට පස්සේ මියුසික් වීඩියෝ කීපයකම උන්නා. ෆැෂන් කළා. මිස් ඒෂියා ගිහින් දිනුවා. නමුත් කවදාහරි සිනමාවට එනවා කියන බලාපොරොත්තුව තබා තිබුණේ. ඇයි සිනමාවට මෙච්චර කැමැති? මම රස්සාවක් කරන්න කැමැති කෙනෙක් නෙවේ. මට ඕන නිදහසේ ඉන්න. කැමැති දෙයක් හිතුන වෙලාවේ කරන්න. සිනමාවට එන්න ලොකු කට්ටක් කෑවා. මුලින්ම කැමරාව ඉදිරියට ආපු දවස මතකද? 2014 මියුසික් වීඩි​යෝ එකක් කළා. ඉරාජ්ගේ ගිනියම් රෑ..මම මිනිස්සු අතරට ගියේ එතනින්.... හැබැයි පසුකාලීනව මම මියුසික් වීඩියෝ නතර කළේ මිනිස්සුන්ගේ හිතෙන් ගිනියම් රෑ අයින් කරන්න ඕන නිසා..... සරුංගලේ තුළින් මම ඒක කළා. ඔබ සිනමාව ඉගෙන ගන්නවද? ඔව්. නර්තනය, නිරූපණය ඉගෙන ගන්නවා. ඊට පස්සේ සංජීව පුෂ්පකුමාරගේ ශ්‍රී ලංකා සිනමා පාසලෙන් සිනමාව ගැන හුඟක් දේවල් කරනවා. ඒ මම එන්නේ ඉගෙනගෙන. ඒක නිසා ඕනම ජරාවක රඟපාන්න මම සූදානම් වුණේ නැහැ. හුස්ම චිත්‍රපටයට කැමැති වෙන්නේ ඇයි? සුදේශ් අයියා කීප සැරයක්ම මට කතා කළා. ෆිල්ම් එකක් කරමු කියලා. නමුත් සුදේශ් අයියගේ තිබුණේ කමර්ෂල් ෆිල්ම්. මම ඒවට කැමැති නැහැ. මම බැහැ කිව්වා. එතකොට කැමැති වුණේ? ඔහු මට පිටපත බලන්න කිව්වා. රඟපාන්න තියෙන්නේ ප්‍රවීණයන් කීපදෙනෙක් එක්ක. කතාවත් නියමයි. කොහොමත් අත්දැකීම් තියෙන අයත් එක්ක රඟපාන්න මම කැමැතියි. මම හා කිව්වා. මේක කොපියක් නේද? ලංකාවේ හුඟක් කරලා තියෙන්නේ කොපි තමා. නමුත් අපේ විදිහට ලියපු මම හොයපු තිර රචනාවක්. දෙපාරක් හිතන්න ඕන වුණේ නැහැ. මේක වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් එන්නේ කියලා ඔබ දැනගෙන උන්නද? ඔව්. නමුත් මේක ඇතුළේ කුණුහරපයක් නැහැ කියලා මම දන්නවා. ඒක නිසා මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මම හොඳ නිර්මාණයකට අත ගැහුවා. කොහෙන්වත් අහන්න ඕන වුණේ නැද්ද? හුස්ම රඟපාන්න ගන්නකොට මගේ වෙඩින් එකට මාසයයි. මගේ මහත්තයා දන්නවා මගේ හැටි. ඔයාට ප්‍රශ්නයක් නොවෙනවනම් භාරගන්න. ඔහු කිව්වේ එච්චරයි. මෙහි ප්‍රධාන චරිතය කරන දසුන් අයියව මම හඳුනනවා. මම ඇහුවා ඔහුගෙන් මේක කරන්නද කියලා. උඹට පුළුවන්නම් කරපන්. ඔහු කිව්වේ එච්චරයි. මම කැමැති වුණා. මේ චරිතය අභියෝගයක් වුණේ නැද්ද? තිර රචනාව දීලා සති දෙකෙන් රූපගත කිරීම් පටන් ගත්තා. මම හැමදාම කෝල් කරලා සුදේශ් අයියගෙන් අහනවා කොහොමද ඊළඟ සීන් එක ගන්නේ කියලා. මාර මහන්සියක් ගත්තා. කොච්චර කාලයක් රූපගත කිරීම් කළාද? සති දෙකයි. මුළු චිත්‍රපටයම යන්නේ එකම ලොකේෂන් එකක. නෙවිල් ද සිල්වා රෝහලේ මෝචරිය තුළ තමයි රූපගත කිරීම වෙන්නේ... මම හිතන්නේ සති දෙකම ඒ ලොකේෂන් එක අපේ ක්ලාස් රූම් එකක් වුණා. බය හිතුනේ නැද්ද මෝචරියේ රඟපාන්න? මම මාර බයයි. මළ ගෙදරකවත් මිනිහ ළඟ ඉන්නේ නැහැ. අන්තිමට මට මළ මිනියක් වෙන්න වුණා. බයවෙන්න මට බැහැ. මොකද මම බය වුණොත් ඒක චිත්‍රපටයට හොඳ නැහැ. හැබැයි දවස ගානේම රෝගීන් මැරිලා ගේනවා මම දැක්කා. නිකම්ම බය නැති වුණා. තාමත් බය නැද්ද? නැහැ. කොහොමටවත් බය නැහැ. මෝචරියේ සති දෙකක් උන්න කෙල්ලෙක් මම. මුල්ම දවසේ හුස්ම හිර වුණා. දැන්නම් හොඳට හුස්ම වැටෙනවා. වැඩිහිටින්ට පමණයි චිත්‍රපටවලට ආරාධනා ලැබෙන්නේ නැද්ද? ඒකට තමා වැඩියෙන්ම ආරාධනා ලැබෙන්නේ. හුස්ම තිරගත වෙනකම් මේ ආරාධනා ලැබෙයි. මොකද චිත්‍රපටය බලන ඕන කෙනෙක්ට තේරෙනවා මෙතන වල් කතාවක් නැහැ කියලා. කොහොමත් ෆිල්ම් හෝල් එකට යයි චමත්කගේ මාර සීන් ටිකක් තියෙනවා බලන්න කියලා හිතාගෙන. නමුත් ආපහු සිනමා ශාලාවෙන් ඔහු එන්නේ චමත්කා වෙනුවෙන් කඳුළක් ඇස්වල ඉතිරිකරගෙන. ඒ තරමටම මේ චිත්‍රපටය ඔබට සමීප වෙයි. ඉස්සරහටත් මෙවැනි චරිත කරනවා. මෙවැනි හොඳ චරිත කරනවා. එහෙම නැතුව ඕනම ජරාවක් බාරගන්න තරම් මම බංකොලොත් වෙලා නැහැ. අවුරුද්දට එක හොඳ නිර්මාණයක් කළත් ඇති. සිංහල සිනමාවට පොදු චරිතාංග නිළියක් වෙන්න මට ඕන කරන්නේ. මහත්තයා මොකද කියන්නේ? මගේ අම්මා තාත්තා ඇතුළු හැම කෙනෙක්ම මම මංගල දර්ශනය බලන්න එක්කගෙන ගියා. හැම කෙනෙක්ම කියන්නේ මම හොඳට රඟපාලා තියෙනවා කියලා. සමහරු කිව්වේ චමත්කා ඔයා පවු කියලා. ෆිල්ම් එක ඉවර වෙලා සති දෙකකින් විවාහ වුණාද? ඔව්. මට කිසිම දේකට කාලයක් ගතවෙන්නේ නැහැ. ඉක්මනින් සූදානම් වෙනවා. අපි ලස්සන වෙඩින් එකක් අරගත්තා. චිත්‍රපටය ඉවර වෙලා ඒ සති දෙක ඇතුළේ කොරියා ගිහින් ඇවිත් තමා විවාහය අරගත්තේ. අපි හුඟාක් සතුටින් ඉන්නේ. ඔබට චිත්‍රපටය බලනකොට මොකද හිතුණේ? හොඳට රඟපාලා තියෙනවා කියලා මට හිතුණා. තිරගතවීමට නියමිත චිත්‍රපට තියෙනවාද? ඊතලය කියන චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. දැනට එච්චරයි. හොඳ නිර්මාණයක් ආවොත් කරනවා. චමත්කාට හොඳ ඉල්ලුමක් ඇතිකරගන්න කැමැති නැද්ද? අවශ්‍ය නැහැ. හොඳ නිර්මාණයක් විතරයි ඕන. කාටවත් යටත් නොවී නිදහසේ රඟපාන්න කැමැතියි. මගේ මහත්තයා මට උදව් කරනවා. මට තව හොඳට කාලය තියෙනවා. කිසිම කලබලයක් නැහැ. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර  
 

More News..