brand logo

තව ටික දවසකින් මම නීතිඥවරියක්

18 September 2019

සති අන්තයේ විකාශය වන පාවෙලා වලාකුළේ ටෙලි නාටයයේ ට්‍රීෂා නම් අතිශය සුන්දර කාර්යාල යුවතියගේ චරිතයට අයිතිකාරිය ඇයයි. රංගන දිවියේ ආරම්භක පියවරෙහි සිටින රුමාලි ගමගේ අද වනවිට රසිකයන් අතර ජනප්‍රිය චරිතයක්. රුමාලිගේ කලා දිවියේ ඇරඹුම කොතැනද? පාවෙලා වලාකු​ළේ ටෙලිනාට්‍ය මම රඟපාන පළමු ටෙලි නාට්‍යයි. මට මීට පෙර චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක දේශපාලනය සම්බන්ධ හාස්‍යමය චිත්‍රපටයක්. හැබැයි මම එහි රඟපෑවේ හාස්‍ය මවන චරිතයක් නෙවෙයි. රුමාලි කලක පටන් නිරූපණ ක්ෂේත්‍රයේ යිටින කෙනෙක් නේද? ඔව්. මම 2011 දී මොස්තර නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආවා. ඒ අවස්ථාවේ රොසෑන් ඩයස් මහත්මියගේ නිරූපණය උගන්වන ආයතනයෙන් ඩිප්ලොමාවක් ලබාගෙනයි මම නිරූපණයට එක් වුණේ. ඊට පස්සෙ මම එල්.එල්.බී. උපාධිය කරන්න පටන් ගත්තා. ඒ කටයුතු එක්ක අවුරුදු කිහිපයක් මම නිරූපණ ක්ෂේත්‍රයේ කිසිම දෙයක් නොකර හිටියා. ඒ කාලෙ මගේ බර කිලෝ 98 දක්වා වැඩි වුණා. ඊට පස්සෙ මම බර අඩුකරගෙන 2018 නැවතත් මෝස්තර නිරූපණය කරන්න පටන් ගත්තා. රුමාලිට රඟපෑම අහම්බයක්ද? මගේ හිතවත් සොයුරියක් වන සුබෝධාගේ හිතවත්කමටයි මට දෙරණෙන් ??? ? පරීක්ෂණයකට අවස්ථාව ලැබුණේ. ඇත්තටම මම නිරූපණයෙහි නිරත වුණාට නිළියක් වෙනවා කියන අදහස තමයි හිතේ තිබුණේ. රංගනය ගැන යමක් ඉගෙන ගන්නත් එක්කයි මම නිරූපණයට ගියේ. ඉගෙන ගන්න කියල ගෙදරින් ආව බලපෑම් එක්කයි පසුකාලයක නිරූපණය අතහැරලා අධ්‍යාපන කටයුතුවලට යොමු වුණේ. ඔබ ඉදිරි කාලයේ අපට හමුවෙන්නේ නීතිඥවරියක් ලෙසද නිළියක් ලෙසද? මම දැන් අවුරුදු දෙකහමාරක් ඉගෙනගෙන ඉවරයි. තව අවුරුදු දෙකකින් මගේ නීති උපාධිය සම්පූර්ණයි. ඊට පස්සෙ මම විවෘත්ත විශ්වවිද්‍යාලයේ තවදුරටත් ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් වෘත්තියක් නිළියක් විදිහට වැඩ කරන්නයි මම කැමැතිම. ඒ අතරම මම මගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නේ නැතිව කරගෙන යනවා. රුමාලි ඉදිරියේදී රඟපාන්න චරිත ලැබිලා තියෙනවද? තව චිත්‍රපට දෙකකට මට ආරාධනා ලැබිලා තියෙනවා. බන්දු සමරසිංහ සමග රඟපාන චිත්‍රපටයක හා පුබුදු චතුරංග රඟපාන චිත්‍රපටයක ඉදිරියේදි වෙලාව හදාගෙන ඒවට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. ඇයි මේ සිනමාවේ චරිත පමණක් තොරාගන්නේ ? සිනමා නිළියක් වීමත් නෙවෙයි. මම ටිකක් තෝරගෙන චරිත කරන කෙනෙක්. පහුගිය කාලෙ මට තව ටෙළිනාට්‍ය දෙකකට ආරාධනා ලැබුණා. මම බලන පැත්තක් තියෙනවනෙ. මම එකම තැනකට කොටු වෙන්නත් කැමැති නැහැ. ඔබගේ පුද්ගලික තොතුරු මොනවද? මම අධ්‍යාපනය ලැබුවේ හැව්ලොක් ටවුන්හි තියෙන රෝයල් ඉන්සිටියුට් ජාත්‍යන්තර පාසලෙන්. මගේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි. තාත්තා හාඩ්වෙයාර් සම්බන්ධ ව්‍යාපාරයක් කරනවා. අම්ම ගෘහනියක්. නංගි ගුවන් සේවිකාවක්. ඇය ඉන්නෙ ඕමාන්වල මල්ලිට නම් තවම අවුරැදු 12යි. එයා ඉගෙනගන්නවා. මගේ පවුලේ සාමාජිකයන් වගේම මගේ පුංචිත් මට හරිම සමීපයි. ඇය දැනට ඉන්නේ ඉතාලියෙ. ගෙදර අයගෙන් රංගනයට උදව් ලැබෙනවද? මගේ අම්ම මුල ඉඳන්ම ලොකු සහයෝගයක් දුන්නා. තාත්ත නම් නීරි රීති තියෙන කෙනෙක්. තාත්ත කිව්වෙ ඕව ඔ්නෑ නැහැ ඉගෙන ගන්න කියලයි. දැන් මම අධ්‍යාපනයයි කලා කටයුතුයි කරගෙන යන නිසා අකැමැත්තක් නැහැ. රුමාලි කාගේ හෝ පෙම්වතියක්ද? ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා අපි දැන හඳුනා ගත්තෙ පාසල් වියෙදියි. දැන් අපේ පෙම් කතාවට අවුරුදු දහයක් විතර වෙනවා. එයා ව්‍යපාර ක්ෂේත්‍රයේ ඉන්නේ මගේ කලා කටයුතුවලට සහයෝගය දෙනවා. වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් විදිහට ඔබ ජනතාවට ඉදිරිපත් කරන භාණ්ඩ ගැන මොකද හිතන්නෙ? රංගනයට වඩා මාව රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලින් හඳුනගත්ත අය වැඩියි. මම මස්මාංශ ඉදිරිපත් කරන වෙළෙඳ දැන්වීම්වල ඉන්නෙ නැහැ කියන ප්‍රතිපත්තියෙ ඉන්නවා. මම නිර්මාංශ කෙනෙක් නෙවෙයි. නමුත් මස් මාංශ කන්න කියලා කාටවත් කියන්න මම කැමැති නැහැ. වෙනත් නිෂ්පාදන සඳහා පෙනී සිටිද්දී ඒවාගේ අඩංගු දේවල් ගැන අහල ජනතාවට අහිතකර නොවන නිෂ්පාදන සඳහායි පෙනී සිටින්නේ. ඔබගේ අතිශය පැහැපත් සමෙහි රහස වෙළෙඳ දැන්වීම්වල හඳුන්වා දෙන ආලේපනද? මම සැලෝන් නම් යන්නෙ නැති කෙනෙක්. ස්වභාවික දෙවල් පාවිච්චි කරලයි මම රුව රැක ගන්නේ. මම බාහිර ආලේපනවලට වඩා ශරීරය අභ්‍යන්තරයට ගන්න පෝෂණය ගැන සැලකිලිමත්. මම අවුරුදු දෙකක පටන් බත් කන්නෙ නැහැ. ඒ වගේම පිටි සහ තෙල් ආහාර ගන්නේ නැහැ. මම එළවළු පලතුරු වැඩිපුර ආහාරයට ගන්නවා. බොහෝ දෙනා අහනව මගේ සමේ පෙනුම රැකගන්නේ කොහෙමද කියල. මම කියන්නෙම බාහිර ආලේපනවලට වඩා ආහාර තමයි වැදගත් කියලා කොහොමටත් මම උපතින් පැහැපත් කෙනෙක්. අපේ රට උෂ්ණ රටක්නේ. ඒ නිසා සම ඉක්මනින්ම අව්වට පිළිස්සෙනවා. මේ තත්ත්වය තුළ සමේ පැහැය රැගන්න මගේ මේ ආහාර රටාව බලපාලා තියෙනවා කියල මම හිතනවා. ඒ හැරුනම මී කිරි හා තෙල් වර්ග පැහැපත් කරගන්න ආලේප කරනවා. රුමාලි කියන්නෙ ඕනම චරිතයක් රඟපාන්න කැමැති නිළියක්ද? රඟපෑවට තිරයෙන් මෙහා ජීවත්වෙන්න වෙන්නෙ අපි අපි විදිහටනෙ. ඒ නිසා අපේ ආත්ම ගරුත්වය තියාගෙන අද චරිතයක් රඟපාල හෙට පාරෙ බැහැල යන්න පුළුවන් ඕනම චරිතයත් මම කරනවා. ට්‍රිෂයි, රුමාලියි අතර සමානකම් තියෙනවද? ට්‍රීෂා ගෙඩාක් නපුරුයි මම කාටවත් ශබ්දනගා දෙයක් කියන කෙනෙක්වත් නෙවෙයි. කතාව ඉස්සරහට යත්දි තේරෙයි එයා ජීවිතයේ ගොඩක් දේවල් සඟවාන සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් කියලා. මගේ ස්වභාවයයි ට්‍රිෂායි අතර තියෙන සමානකම මමත් ට්‍රීෂා වගේ සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. සුරංජි පතිරණ  
 

More News..