brand logo

මීළඟ මැතිවරණයට සූදානම්ද?

05 August 2019

වර්තමානයේ තිරයේ නිතරම දකින්න නොලැබුණත් රසිකයන්ගේ හදවත්වල නිරන්තරයෙන් රැඳී සිටින රංගන ශිල්පිනියන් අතලොස්ස අතරේ ඕෂධී හේවාමද්දුමට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. මේ දිනවල තිරයේ ඉඳහිට දකින්න ලැබීම ගැන මෙන්ම ඕෂධීගේ තවතම තොරතුරු සොයා අපි ඇය හමුවට ගියා. ඕෂධී මේ දිනවල ඔබගේ කලා කටයුතු මොනවද? මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්නෙ. ලබන අගෝස්තු මාසයේ චිත්‍රපටයක වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ගැන විස්තර මම ළඟදීම කියන්නම්. ඒ හැරුණම ටෙලිනාට්‍ය නම් විශාල සංඛ්‍යාවක් තියෙනවා විකාශය වෙන්න නියමිත. එම නිර්මාණ කොයි කාලේ විකාශය වෙයිද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. සමහර කලාකරුවන් වැඩ නැතිව සිටිද්දී සමහර කලාකරුවන්ට වැඩිපුරත් එක්ක වැඩ. සමහර ටෙලිනාට්‍ය එක දිගට විකාශය වෙත්දි සමහර නිර්මාණ පෝලිමක හිරවෙලා. මේ තත්ත්වය ගැන ඕෂධීට අදහසක් තියෙනවද? ඒකට බලපාන පැති කිහිපයක්ම තියෙනවා. අපි ක්ෂෙත්‍රයට අපු කාලේ අපිට ගොඩක් අවස්ථා තිබුණා. මොකද ඒ කාලෙ හැදුණ ටෙලිනාට්‍යවල කොටස් විස්සයි, තිහයි තිබුණේ. ඒ නිසා බොහෝ ටෙලිනාට්‍ය හැදුණා. මම ඒ කාලේ එක අවුරුද්දට ටෙලිනාට්‍ය දහඅටක වැඩ කරපු කාලත් තිබුඛා. දවස් තිහේම වැඩ. හැබැයි එක ටෙලිනාට්‍යයක එකම චරිතයකුත් නෙවෙයි විවිධ චරිත. ඒකෙන් අපේ රංගන හැකියාවනුත් පෝෂණය වුණා. අදටත් මිනිස්සුන්ට අපිව මතක තියෙන්නේ ඒ කාලේ කරපු චරිත නිසා. ඒ වගේම කර්මාන්තයේ හැමෝටම අවස්ථාවන් ලැබුණා. පවතින තත්ත්වයට යෝජනා කරන විසඳුම කුමක්ද? මම කියන්නෙ මෙගා නාට්‍ය නතර කරන එක නෙවෙයි. මේවා යම්කිසි දුරකට සීමා කරන්න ඕනෑ. දවසේ ටෙලි නාට්‍ය විකාශය වෙන පැය තුනේම මෙගා නාට්‍යයම විකාශය වෙද්දී එකම පිරිසකට තමයි වැඩ තියෙන්නේ. නළු නිළියන්ට පවා එකම චරිතයනෙ කරන්න තියෙන්නේ. ඔවුන්ටත් තමන්ගෙ හැකියාවන් පෙන්වන්න තියෙන අවස්ථාත් සීමා වෙනවා. මෙගා ටෙලිනාට්‍ය එක්ක වැඩ තියෙන පිරිසක් වගේම වැඩ නැතිව ගෙදර ඉන්න පිරිසකුත් බිහිවෙලා තියෙනවා. බොහෝ කලාකරුවන්ගෙ නමට ඉදිරියෙන් ව්‍යාපාරිකාව, රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය කියන හැඳින්වීම් යෙදෙන්නේත් මේ කාරණාව මත නේද? ඔය තත්ත්වය නිසාම වෙන්න ඇති කලාවේ ඉන්න අය වෙනත් ආදායම් මාර්ගවලට යොමුවෙලා තියෙන්නේ. වෙනත් ආදායම් මාර්ගයක් තියෙනවා නම් තමන්ට ලැබෙන ඕනම චරිතයක් කරන්න සිද්ධ වෙන්නෙ නැහැ. තෝරගෙන හොඳ දේවල් කරන්න පුළුවන් කලාකරුවන්ට විශ්‍රාම වැටුපක් කියල දෙයකුත් නැහැනේ අපි හම්බ කරන කාලේ හම්බකරගෙන එකෙන් කිසියම් ආයෝජනයක් කළා නම් විතරයිනෙ ආර්ථික සුරක්ෂිතතාවක් ලැබෙන්නේ. ඇත්තටම මේක පවුලක් නඩත්තු කරන අයට ලොකු ප්‍රශ්නයක් ඊළඟට වියපත් වුණහම ජීවත් වෙන්න විදිහක් නැහැ. මේ විදිහට අසරණ වුණ කලාකරුවෝ අද ගොඩක් ඉන්නවා. කලාවෙන් දේශපාලනයට ගිය කලාකරුවන්ටවත් මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න බැරිද? දේශපාලනයට ගිය සමහර කලාකරුවෝ කලාකරුවන් ගැන කතා කරපු අවස්ථා තිබුණා. නමුත් ඒවා පාලන අධිකාරිය තුළ ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. සමහරු නම් කලාවෙ ඉඳන් දේශපාලනයට ගියාට මෙලෝ දෙයක් කලාව වෙනුවෙන් කළේ නැහැ. දේශපාලනයට ගියාට පස්සෙ කලාකරුවා දේශපාලකයෙක් බවට පත් වෙනවනේ. ඊට පස්සෙ ඔවුන් උත්සාහ කරන්නෙ තමන්ගේ බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් යමක් කරලා ඊළඟ ඡන්දයට සුදානම් වෙන්න. දේශපාලයේ ප්‍රායෝගික තත්ත්වයන් එක්ක සමහරුන්ට මගහැරෙන අවස්ථා තියෙනවා. මම කියන්නෙ කවුරු පාර්ලිමේන්තුවට යනවද කියන එක නෙවෙයි. කවුරු පාර්ලිමේන්තුවට ගියත් මොන පක්ෂය පාලනයේ හිටියත් කලාකරුවන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගිය යුතුයි. ඒකට කලාකරුවන් පාර්ලිමේන්තුවට යන්න ඕන නැහැ. දැන් ඉන්න ප්‍රවීණ කලාකරුවෝ එකතුවෙලා යම්කිසි ප්‍රතිපත්තියක් ගොඩනගන්න ඕන. ඕෂධී ළඟදීම ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්න නියමිතයිද? මම දැනටත් දේශපාලනයේ නිරත වෙනවා. නමුත් ඡන්දය ඉල්ලනවද නැත්ද කියන එක ගැන තීරණයක් නැහැ. ඕෂධී අද වෘත්තිය කලාකාරිනියගේ භූමිකාවෙන් දුරස්ව, මව බිරිය කියන භූමිකාවලට වැඩි ඉඩක් වෙන්කරලද? මම වෘත්තීය කලාකාරිනියක් විදිහට රංගනය නිවේදනය ගායනය යන හැම දේම කරනව හැබැයි ඇත්තටම මම වෘත්තීය කාලාකරිනියක් විදිහට තමයි කටයුතු කරන්නේ. ඒක ඇතුළෙ ගෘහණිය මව බිරිඳ ව්‍යාපාරිකාවකුත් ඉන්නවා. අද රංගනයට තියෙන වටිනාකම් හෑල්ලුවට ලක්වෙලා කියලා මතයක් තියෙනවා. මේ ගැන ඔබට පවසන්න තියෙන කාරණා මොනවද? ඉස්සර කලාවෙ හිටියේ හරි උගත් අය. වර්තමානයෙ මේක වෙනස් වෙලා. සාමාන්‍ය පෙළ පාස් කරගන්න බැරිවුණොත් රඟපාන්න එනව වගේ දෙයක් තියෙනවා. මගේ තාත්තත් එදිරිවීර සරත්චන්චද්‍රයන්ගේ නාට්‍යවලට රඟපාපු කෙනෙක්. හැබැයි තාත්තා රඟපෑවේ උපාධියක් අරගෙනයි. රැකියාවක් කරන අතරෙයි ඉස්සර ගොඩක් අය ඉගෙනගෙන තමන්ගෙ ආර්ථික ගැන හිතන ගමන් කලාවත් කළා. ඒ නිසා තමයි ඒ කාලේ කලාවට ගෞරවයක් නම්බුවක් තිබුණෙ. උදාහරණයක් විදිහට ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය අධ්‍යාපනය සමග කලාව කරපු අය. ඔබ හැමවිටම ඔබෙ අධ්‍යාපනය ගැන සැලකිලිමත්ද? මම රංගනට එද්දී මට තිබුණෙ ව්‍යාපාර හා අලෙවිකරණය ගැන උපාධියක් මම ඉගෙන ගන්නත් ක්ෂේත්‍රය රංගනය එක්ක කිසිසේත් සම්බන්ධයක් නැහැ. මගේ සැමියා මට හැම විටම කියා සිටියා. මොනව හෝ දෙයක් ඉගෙන ගන්න කියන කාරණය. දුව ලැබෙන්න ගෙදරට වෙලා ඉන්න කාලේ මම නැවතත් ඉගෙන ගැනීම ආරම්භ කළා. මේ වනවිට මම රූපලාවණ්‍ය උපාධියක් හදාරමින් ඉන්නවා. ජීවිතයේ ඉදිරිය සැලසුම් මොනවද? අපි හැම තිස්සෙම දරුවන්ගෙ අනාගතය ගැන හිතල වැඩ කරන්නේ. මේ යන තත්ත්වය එක්ක දරුවන්ගෙ අනාගතය ගැන හිතත්දී විදේශයක ගිහින් පදිංචි වුණොත් හොඳයි. කියලා හිතෙන අවස්ථා තියෙනවා. නමුත් කලාකරුවන් විදිහට අපිට මේ රටේ තියෙන තැන පිටරටකදී ලැබෙන්නෙ නැහැනේ. ඒක දාලා යන්න ලෝභ කමක් තියෙනවා. ළඟදී එළඹෙන මැතිවරණයකදී ඡන්ද අපේක්ෂිකාවක් විදිහටත් ඔබව දකින්න ඉඩ නැතුවාම නෙවෙයි නේද? ඒක ලබන අවුරුද්දෙ වෙයිද, තව අවුරුදු දහයකින් වෙයිද කියන්න බැහැ. ඒක මා තුළින්ම හැදෙන්න ඕනෑ. මම කැමැති නැහැ කලාවෙ ඉඳන් දේශපාලනයට ආපු බහුතරයක් කලාකරුවන් අහපු කතා අහගන්න. ඡන්දය ඉල්ලනවා නම් දේශපාලනයට එනවා නම් ඒ ගැන දැනුවත් භාවයකින් එන්න ඕන ඒ කාලේ. මම පවුලෙ එකම දරුවා විදිහට කලාවට එත්දි මගේ දෙමව්පියන්ගෙන් ගොඩක් දෙනා අහපු දෙයක් තමයි. ඔච්චර උගන්වල පරිස්සම් කරලා දුවව නිළියක් කරන්ද යන්නේ කියලා. සමාජය නිළියක් දිහා බලන්නෙ වෙනයම් අර්ථයකින්නෙ. අපෝ එයා නිළියක්ද කියලනෙ අහන්නේ. මම ඒ මතය වෙනස් කළා කවද හරි මම දේශපාලනයට යනවා නම් කලාකරුවන් දේශපාලනයට එන එක ගැන සමාජයේ තියෙන මතයත් වෙනස් කරලා පෙන්වනවා. සුරංජි පතිරණ
 

More News..