පිනි පලස

මම නැගිටිනවා… ආයෙත් මේ මිහිතලය මත දෙපා තියනවා

යුද්ධය නිමවී අවුරුදු දහයයි. පසුගියදා එම දහවැනි සැමරුම් දිනය උදා වුණා. ඒ එදින උදෑසන 6.30 ට දෙරණ අරුණ සමග චතුර අල්විස් ඔබේ සාලයට ආවේ තවත් අමුත්තෙක් සමගින්. තිස් වසරක ශාපලත් යුද්ධය වෙනුවෙන් සටන්වැද තම දෙපා අහිමි කරගත් රණවිරුවෙක් උදෑසන චතුරත් සමග දෙරණ අරුණ කරන්න සම්බන්ධ වුණා.

බොහෝ දෙනාට ඔහු කව්ද කියන එක ප්‍රශ්නයක්. ඒ ගැන දැනගන්න අපි ඔහුට කතා කළා. ඔහු යුද හමුදා පළවන විශේෂ බළකායේ කෝප්‍රල් වජිර පුෂ්පකුමාර.

2009.04.21 වැනිදා තමයි මට යුද්ධයෙන් තුවාල වුණේ. නන්දිකඩාල්වල මානුෂික මෙහෙයුමේ යෙදී ඉන්න අවස්ථාවේ ත්‍රස්තවාදියෙක්ගේ ස්නයිපර් වෙඩි ප්‍රහාරයකට මාව ලක් වුණා. ඒ සිදුවීම මට තාමත් මතකයි. අපි අට දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් යුද්ධයේ අවසාන මෙහෙයුමට සම්බන්ධ වෙලා උන්නේ. අපි උත්සාහ කළේ සිවිල් ජනතාව මුදාගන්න… මුලින්ම වෙඩි ප්‍රහාර එල්ල වුණේ මට. මාව අරගන්න තව කෙනෙක් ආවා. එයාටත් වෙඩි වැදුණා. එයා එතැනම මැරුණා. මාව අනුරාධපුර යුද හමුදා රෝහලට අරගෙන ආවා. ඒ මොහොත මට තාමත් මතකයි. වෙන දේවල් ඔක්කෝම මතකයි. කියන දේවල් ඇහෙනවා. මුළු ඇඟම වේදනා දෙනවා. නමුත් කතා කරගන්න බැහැ. කොන්ද තමා හුඟක් රිදුනේ.

මේ සිදුවීම වෙලා හරියටම මාසයකින් යුද්ධය ජයග්‍රහණය කළා. මට තුවාල වුණේ අප්‍රේල් 21 වැනිදා. මැයි 18 යුද්ධය නිමා වුණා. නමුත් එතකොට මම යුද හමුදා රෝහලේ ජීවිතයත්, මරණයත් අතරේ උන්නේ. කතා කරගන්න බැහැ. ඔළුව විතරයි වැඩ…

අවුරුදු පහක් මම ඉස්පිරිතාලේ උන්නා. ඊට පස්සේ මාව නාරාහේන්පිට ආමි හොස්පිටල් එකට මාරු කළා. එතැනින් රාගම රණවිරු සෙවණට දැම්මා. රාගම රණවිරු සෙවණ තුළ තුවාලවලට වගේම මනසටත් ප්‍රතිකාර ලැබුණා.

බෙල්ලට වෙඩි වැදිලා, සුෂුම්නාව ඩැමේජ් වෙලා ඉතා අමාරු අවස්ථාවක මම උන්නේ. නමුත් ඉතා ඉක්මනින් රෝද පුටුවක වාඩිවෙලා මගේ වැඩ කරගන්න පුළුවන් මට්ටමට මම ආවා. නමුත් ඉනෙන් පහළ පණ නැති වෙච්ච එක හදන්න බැරි වුණා.

ඉන්පසු අනුරාධපුර අභිමංසල සුව සහන නිකේතනයට මාව දැම්මා. එතැනදී තමා මාධ්‍ය ගැන මට ලොකු කැමැත්තක් ඇති වුණේ. රණවිරු රියල්ස්ටා වගේ වැඩසටහන් දකිනකොට මා තුළ ඇති දක්ෂතා මට අවබෝධ වුණා. නිවේදකයෙක්, කථිකයෙක් මා තුළ සැඟව ඉන්නවා කියන කාරණය මට අවබෝධ වුණා.

ඉස්කෝලේ යන දවස්වල ඕවට කැමැත්තක් තිබුණේ නැහැ. මොකද මගේ ළමා කාලයත් හරිම දුෂ්කරයි. 1996.4.12 මගේ තාත්තව ත්‍රස්තවාදීන් පැහැරගෙන ගියා. ඊට පස්සේ කවදාවත් එයා ආයෙමත් ගෙදර ආවේ නැහැ. මගේ ගම ත්‍රිකුණාමලය දිස්‍ත්‍රික්කයේ ?? කියන ගම… මගේ තාත්තව අරගෙන යනකොට මට අවුරුදු අටයි. මල්ලි, නංගි, අම්මා, ආච්චි එක්ක මට කටුක ජීවිතයක් උරුම වුණේ. සිංහල අවුරුද්දට තාත්තා අපිට අලුත් ඇඳුම් ගෙනැත් දීලා කෑම බීම ගෙනත් අවුරුදු සමරන්නයි උන්නේ.

නමුත් හැම දෙයක්ම බොඳ වුණා. මගේ තාත්තා ගැන හෝඩුවාවක් ලැබුණේ නැහැ. එදා ඉඳන් ජීවිතේ කිසිම දවසක අපේ ගෙදරට අවුරුදු ආවේ නැහැ. අදටත් සිංහල අවුරුද්දට අපි දානයක් දෙනවා තාත්තව මතක් කරලා. තාත්තා නැතිව කවදාවත් අපිට අවුරුදු එපා.

ඔය ආකාරයේ දුෂ්කර ළමා ලෝකයක් මට තිබුණේ. බාහිර දෙයක් කරන්න තරම් මානසිකත්වයක් අපේ ගම් පළාතේ තිබුණේ නැහැ. අපි උන්නේ කොටින්ට බයේ. තාත්තගේ මේ අතුරුදන් වීම නිසා මමත් හමුදා සෙබළෙක් වුණා. මගේ හිතේ තිබුණ දක්ෂතා, ආශාවන් යටපත් වුණා. නමුත් එක්තැන් වෙලා ඉන්නකොට ආයෙත් ඒ දේවල්වලට ඉඩක් ලැබුණා.

අභිමංසලේ මම විවිධ නාළිකාවලට වොයිස් කට් දෙනවා. ඔය අතරේ කලා අංශයේ තිබුණු උත්සවයකට ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සේවා වනිතා ශාකාවේ සභාපතිනිය ශිරෝමි මාසිකෝරාල මහත්මිය ආවේ. ඇය නිසා තමා මට පසුගිය දා දෙරණට එන්න අවස්ථාව ලැබුණේ. ලුතිනන් අධිකාරී කියලා මැඩම් කෙනෙකුත් හුඟක් උදව් කළා.

දෙරණ අරුණ වැඩසටහන චතුර අල්විස් එක්ක ඉදිරිපත් කරන්න ලැබීම මට සිහිනයක් වගේ. දෙරණේ සාරංග අයියත් මට හුඟක් උදව් කළා. එදා මම ටිකක් බයවෙලා උන්නේ. සජීවීව මම නාළිකාවක නිවේදන කටයුතු කරලා තිබුණේ නැහැ. සුබ උදෑසනක් කියලා පටන් ගන්නකොට පපුව ගැහෙමින් තිබුණේ. නමුත් මොහොතකින් හරි ගියා. චතුර අයියා මගේ බය නැති කළා. ඒ මොහොතේ මට දැනුණ සතුට විස්තර කරන්න අමාරුයි. වෙසක් පෝය දවසට යුද්ධය ඉවර වෙලා අවුරුදු 10 ක් ගතවුණ දවසේ මමත් ඒ යුද්ධයේ ජයග්‍රහණයේ කොටස්කරුවෙක් කියලා දැනෙනකොට ලොකු අභිමානයක් සිතට දැනුණා. ඒ ශක්තිය තමා මට හයිය දුන්නේ.

හැමෝම කතා කරලා මට සුබ පැතුවා. මේ ලැබුණු අවස්ථාව ජීවිතයේ කිසිම දවසක මට අමතක වෙන්නේ නැහැ.

දැනට මම අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ ඉන්නේ. මට ඉගෙන ගන්න ආසයි. මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට වැඩ කරන්න ඕනේ. දෙරණ ආයතනය මට උදව් කරනවා කියලා කිව්වා. ඒක අපි වගේ අයට ලොකු ශක්තියක්.

යුද හමුදාවේ තවත් ඉදිරියට රැඳිලා ඉන්නවා. අනාගතයේ මගේ දෙයක් කරන්න ඕනේ. තාමත් මම තනිකඩයි. ජීවිතේ මාව තේරුම්ගත්ත කෙනෙක් මගේ හිත තේරුම් ගත්ත කෙනෙක් ලැබුණ දාට ඒ තනිකම නැතිවෙයි. මම දන්නේ නැහැ ඒ දවස කවද්ද කියලා.

මගේ ආබාධිත බව දැන් සෑහෙන්න සුවයි. ඉක්මනටම මම මෙතනින් නැගිටින්න ඕන. හැමදාම මේ රෝදපුටුවේ ඉන්න මට බැහැ. මගේ හිත ශක්තිමත්. හිතේ තියෙන එකම බලාපොරොත්තුව ආයෙත් මේ පොළොව මත අඩිය තියලා ඇවිදින්න ඕන කියන එක අනිවාර්යයෙන්ම මම ඒක කරනවා. අනිවාර්යයෙන්ම මම ආයෙත් ඇවිදිනවා.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර