brand logo

රූප රාජිනියක් සමග රූපය ගැන කතා කරමු

02 June 2019

ලස්සනට ඉන්න එක තරම් යුවතියන් කැමති දෙයක් තවත් තියෙනවද? ඉතින් ලස්සන ගැන අපි කතා කරන්න හිතුවා. ශ්‍රීමාලි ෆොන්සේකා කියන්නේ දක්ෂ නිළියක්, දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක්, රුවැති යුවතියක්. ඉතින් ශ්‍රීමාලිගෙන් අපි ලස්සන ගැන ඇහුවා. වයස කියන්න කැමතිද? වයසට යන්න යන්න මම ලස්සනයි. ඉතින් වයස මොකටද? ලස්සන ගැන කතා කරමු. බටහිර කාන්තාවන් රුවට ප්‍රතිකාර කරන්නේ අවුරුදු 40 විතර වුණාම. ඒ මොකද? තරුණකම මැරෙන්නේ අවුරුදු 40න් විතර. සමේ තියෙන කොලැජන් අඩුවෙලා ඉලාස්ටික් ගතියක් එන්නේ අවුරුදු 40 පහු කරනකොට. කෑමෙන් බී‍මෙන් පාලනය කෙරුණු සමට බාහිර ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ එතකොට. මොනවද බාහිර ප්‍රතිකාර? කොලැජන් පවුඩර් එකක් භාවිත කිරී‍මෙන් සමේ ශක්තිමත් බව රඳවා ගන්න පුළුවන්. තරුණ කෙනෙක් අනිවාර්යයෙන්ම පේෂ්​වොෂ් එකක් භාවිත කළ යුතුමයි. සුදු වෙන්න ක්‍රීම් භාවිත කිරීම හොඳද? සමේ පාට වෙනස් කරන ක්‍රම තිබෙනවා. හැබැයි ඉක්මනින් සුදු වෙන්න බ්ලීචින් ක්‍රීම් ගාන එක නම් සියදිවි නසා ගැනීමක්. මොකද තරුණ වයසේ බ්ලීචින් ක්‍රීම් ගාපුවාම සමේ කොලැජන් විනාශ වෙනවා. එතකොට ඉක්මනින්ම සම එල්ලා වැටෙන්න බලනවා. මේ නිසා බ්ලීචින් ගාලා සුදු වෙන්න එපා. සමේ පැහැය වෙනස් කරන ස්වභාවික ක්‍රම තිබෙනවා. සම ලස්සනට තබාගන්න නම් අනිවාර්යයෙන්ම වතුර හුඟක් බොන්න ඕන. මේක්අප් පසු කාලයේදී අහිතකර වෙන්න පුළුවන්ද? ඕනෑවට වඩා මේක්අප් කරන්න එපා. මේක්අප් කරලා හවසට අනිවාර්යයෙන්ම පේෂ්වොෂ් එකක් හරි ටෝනර් එකක් හරි දාලා ඉවත් කරන්න. එහෙම නොවුණොත් රෝම කූපවලින් සම ඇතුළට මෙම රසායනික දේවල් ඇතුළු වෙලා අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්. අවසානයේ කුරුලෑ, කළු ලප ඇතිවෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. සබන්වලින් කීයටවත් මූණේ තියෙන දූවිලි, කුණු ඉවත් වෙන්නේ නැහැ. ලංකාවේ යුවතියෝ මේක්අප් භාවිත කරන ආකාරය ගැන ඔබ දකින්නේ කොහොමද? සම්පූර්ණයෙන්ම වැරදියි. විශේෂයෙන්ම අපේ නිළියෝ මුළු ඇඟටම මේක්අප් කරනවා. හැබැයි නිවැරදි ආකාරයට ඉවත් කරන්නේ නැහැ. ඉක්මනින් සම නාස්ති වෙනවා. මූණට විතරක් පේෂ්වොෂ්, ටෝනර් දානවා. අන්තිමට මූණ එක පාටක්, ඇඟ තව පාටක්. මේ ක්‍රමය වැරදියි. මුළු ඇඟටම මේක්අප් දාන්න එපා. ලංකාවේ යුවතියන්ගේ බඩ වැඩියි නේද? මූලිකවම කන බත් ප්‍රමාණය වැඩියි. බත් ආමාශයේ තැන්පත් වෙලා ජීරණය කරන්න අපහසු වෙලා බඩ වැඩි වෙනවා. මම නම් කියන්නේ බත් කන එක අඩු කරන්න. බඩ එන්නේ නැහැ. ඉන්ජෙක්ෂන්වලින් රූපය වෙනස් කිරීමට ඔබ එකඟද? මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඉන්ජෙක්ෂන්වලින් තොල් මහත් කරනවා, නහය ලොකු කරනවා. වැරදි දෙයක්. ස්වභාවිකත්වය වෙනස් කරන්න එපා. යුවතියකට ලස්සන, චූටි තොල් දෙකක් තියෙනකොට. මේවා අනවශ්‍ය විදිහට වෙනස් කරලා හදපුවාම ස්වභාවික රූපය විනාශ වෙනවා. මම අත්දැකීමක් කියන්නම්. මම මැලේසියාවේ බියුටි පැජෙන්ට් එකකට ගියා. මට මුණගැහුණා ලස්සන යුවතියක්. ඇගේ තොල් දෙක මහතයි. තොල්වලට කරපු ප්ලාස්ටික් සැත්කමෙන් තොල වෙනස් කරලා තිබුණේ. මේ යුවතිය කොච්චර ලස්සන වුණත් කතා කරනකොට කට දෙපැත්තෙන් කෙළ පෙරෙනවා. තොල්වලට කරපු සැත්කම නිසා තොල අවට ස්නායු දුර්වල වෙලා. සම ශක්තිමත් නැහැ. කතා කරනකොට තොල් දෙක පාලනයෙන් තොරයි. කොච්චර ලස්සන වුණත් මොනවා කරන්නද? කිසිම වෙලාවක ස්වභාවිකව තමන්ට ලැබුණ රූපය අබිබවා යන්න එපා. ස්වභාවික දේවල් දුර්වල වෙනකොට විතරයි පිටතින් ප්‍රතිකාර ලබාදෙන්න පුළුවන්. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..