brand logo

මගේ අලුත්ම ගීතය මේ සතියේ එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා - සුර්යා

28 April 2019

සමනල සංධ්වනිය සිනමා සිත්තමෙන් පසුව රංගන ක්ෂෙත්‍රයේ ස්ථාපිත වන සූර්යා දයාරුවන් අද අපේ රටේ ජනප්‍රිය චරිතයක්. මේ දවස්වල තෝඩු ටෙලිනාට්‍යයේ ආදරණීය චරිතය වන සූර්යා පසුගිය සතියේ ප්‍රදර්ශනය ඇරඹුණ වැලි පවුරු චිත්‍රපටයේද ප්‍රධාන චරිතයක ලෙසද අපට හමුවනව. බොහෝ වැඩ කටයුතු අතරේ සූර්යා පහුගිය දවස්වල රටින් බැහැරව ගියා නේද? ඔව්. පසුගිය දවස්වල මම පිටරට ප්‍රසංගයකට සහභාගි වුණා. ඒ ප්‍රසංගය විශේෂ එකක්. මොකද ඒ ප්‍රසංගය පැවැත් වුණේ නයිජීරියාවෙදි. ඒ රටට ප්‍රථම වතාවටයි ලාංකික කලාකරුවෙක් ගෙන්වා මෙවැනි ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පවත්වා තියෙන්නේ. තෝඩු හි සනුක නිසා සූර්යාට හරියට ආදරය ලැබෙනවා කියන්නෙ ඇත්තද? මට ඇත්තටම තෝඩු ටෙලි නාට්‍යයේ සනුකගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලබමින් සිටින සමයක් තමයි මේ. ඒත් එක්කම ක්ලික් කියලා අලුත්ම ටෙලි නාට්‍යයකට මම සහභාගි වුණා. ඒක හොල්මන් කතාවක්. එහි මම හොල්මනකට පෙම්බඳින තරුණයෙක්. මේ ටෙලි නාට්‍යයත් ළඟදීම රසිකයන්ට දැක ගන්න ලැබෙයි. තෝඩු නිසා ආදරය ලැබුණත් වැලි පවුරු ඒ ආදරය උදුරා ගනියි කියලා හිතෙන්නෙ නැතිද? මගේ අලුත්ම චිත්‍රපටය වැලි පවුරු මේ වනවිට ප්‍රදර්ශනය වෙමින් පවතිනවා. එම චිත්‍රපටයේ මට මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි අශෝකමාලා වැනි ප්‍රවීණයන් සමග රඟපාන්න මට අවස්ථාව ලැබුණා. වෙනදට මාව ප්‍රේක්ෂකයන් දකිනවට වඩා වෙනස් විදිහට දකින චරිතයක් විදිහට මමත් මේ චරිතය දකිනවා. මමත් හිතනවා මේ චිත්‍රපටය නරඹල ප්‍රෙක්ෂකයන් මට බැණ බැණ යයි කියලා. සූර්යා ගායකයෙක් විදිහටත් අද හෙටම අලුත් අත්දැකීමක් රසිකයන්ට දෙන්න සූදානම් නේද? ඔව්. මගේ අලුත්ම ගීතය මේ සතියේ එළිදක්වන්න බලාපාරොත්තුවෙන් ඉන්නවා. චරිත් පී. චතුරංගගේ පද රචනයෙන් හා රාජ් තිරන්පලම්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් යුතු මෙම ගීතය නම් කරලා තියෙන්නෙ නෑසූ ප්‍රේමය කියලයි. සූර්යා ඉදිරියේදී කරන්න සූදානම් කලා කටයුතු මොනවද? දර්ශන රුවන් දිසානායක කියන සංගීත අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් යුතු ගොවි තාත්තා චිත්‍රපටයේ රූගත කිරීම්වලට සූදානම් වෙනවා. එම චිත්‍රපටයත් මට විශේෂයි. එකක් මගේ ගම පොළොන්නරුව. පොළොන්නරුවේ තමයි මේ චිත්‍රපටය රූගත කරන්නේ. අනිත් කාරණය ජෝ අබේවික්‍රම මහත්මයගෙන් පසුව මම ඉතාම ප්‍රියකරන රංගන ශිල්පියා තමයි කමල් අද්දරආරච්චි. මට ගොවි තාත්තා චිත්‍රපටයේ කමල් අයියා එක්ක ප්‍රථම වතාවට රඟපාන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. සූර්යා කියන්නේ ලැබෙන හැම චරිතයක් එක්කම සැසඳෙන්න කැමැති නළුවෙක්ද? කුමක්දෝ හේතුවකට මට ආරාධනා ලැබෙන්නේ ප්‍රතික්ෂේප කරනන් බැරි නිර්මාණ. මට ලැබුණ චිත්‍රපට එකකට හෝ දෙකකට හැර මම අනිත් හැම චිත්‍රපටයක්ම භාර ගත්තා. මම මේ කරන්න යන්නේ මට ලැබුණ දොළොස් වැනි චිත්‍රපටය. සිනමාව තුළ වැඩිපුර වැඩ කරන්න කැමැතියි. දැන් පවතින ආර්ථික වටපිටාව එකක් චිත්‍රපට වැඩි ප්‍රමාණයට දායක වෙන්න දුෂ්කරතා තියෙනවනේ. ඒ අතර මම හොඳ ටෙලි නාට්‍යවලට දායක වෙනවා. ඒ කියන්නෙ නළුවෙකුට මගහැරදා යා හැකි චරිත තිබිය යුතු නැති බවද? චරිතයක් කරද්දී එහෙම හිතපු තැන් තිබුණා. ඒ මම කරන චරිතය නිසා සමාජයට වැරදි පණිවුඩයක් දෙනවද කියන කාරණය මතයි. මෙය තවදුරටත් පහදනවා නම් මෑත කාලයේ මට චිත්‍රපටයක නිරුවත් චරිතයකට ඇරයුම් ලැබුණා. ඒක හොඳ චිත්‍රපටයක්. මම ඒ චිත්‍රපටය භාරගත්තා. මහේන්ද්‍ර පෙරේරා අයියා, චාන්දනී සෙනෙවිරත්න අක්කා වැනි ශිල්පීනුත් එහි රඟපානවා. අපි කලාව වෙනුවෙන් ඉන්නවා නම් ඒ දෙවල් කලාත්මක විදිහට දකින තැනකට පත්කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිර්මාණය කරනවා නම් මම ඒක භාරගත්තට කමක් නැහැ කියලා. මම විශ්වාස කරනවා මම මගේ තාත්තගෙන් මේ ගැන ඇහුවම, මගේ තාත්තා කිව්වෙ ඔයා එ්ක කරන්න. ඔයා නළුවෙක් නම් ඔයා හොඳ කලාකරුවෙක් නම් ඒක කරන්න පුළුවන් වෙන්න ඕන කියලයි. මේ වෙද්දී එම චිත්‍රපටය නිර්මාණ කාර්යය අවසන්ද? නැහැ. එම චිත්‍රපටයේ වැඩ ඉදිරි කාලයේ ආරම්භ වෙයි. සූර්යාගෙ බලාපොරොත්තුව කලාව තුළ වෘත්තීය මට්ටමෙන් රැඳෙන්නද? මම වෙන රැකියාවක් කරයිද නැද්ද කියලා මම දන්නෙ නැහැ. මම බලන්නෙ මේ ක්ෂේත්‍රයේ ඉඳලා මේ ක්ෂෙත්‍රයේ වට පිටාව හරියට ඉගෙනගෙන පරිපූර්ණ කලාකරුවෙක් වෙන්නයි. සූර්යා විවාහය සඳහා කලා ක්ෂේත්‍රයෙන්ම කෙනෙක් තෝර ගනියිද? ඒ ගැන තවම තීරණයක් අරගෙන නැහැ. බලමු ඉස්සරහට. අපි මැරෙනකම්ම අපිත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්නේ ජීවිතයට ළං කරගන්න ඕනෑ. මොකද කෙටි කලකින් දික්කසාද වෙලා තව කෙනෙක් ජීවිතයට ළං කරගන්නවා කියලා දෙයක් මගේ ජීවිතයේ නැහැ. ඒ විදිහට හැමදාම ආදරයෙන් මා ළඟ රැඳෙන්න පුළුවන් කෙනෙක් මට තවම හම්බ වෙලා නැහැ. සුරංජි පතිරණ
 

More News..